අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පළාත් සභා වෙත අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බැවින් අපදා හානි සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පළාත් මටටමින් සොයා බලන්න.

දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙසත්, පළාත් සභා වෙත මේ වන විට සියලු ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අපදා හානි සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පළාත් මටටමින් සොයා බලන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Rebuilding Sri Lanka වැඩසටහනේ ක්‍රියාකාරකම් කඩිනම් කිරීම වෙනුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (21) පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය. අපදා සහන සහ වන්දි ලබාදීම් කඩිනම් කිරීමත්, අපදාවෙන් යටිතල පහසුකම්වල සිදු වූ හානි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සාකචඡාව පැවැත්විය.

දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර 2026 වසර අවසන් වීමට පෙර අදාල සංවර්ධන කටයුතු සිදු කර අවසන් විය යුතු බවත්, හානි සඳහා වන වන්දිගෙවීම් ප්‍රමාද වීමට ප්‍රාදේශිය මට්ටමින් පවතින ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය උපදෙස් ලබා දුන්නාය.

දිට්වා සුළිකුණිටුව නිසා සිදු වූ හානිවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 3.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත්, ඒ අනුව නිවාස හා සමාජ යටිතල පහසුකම්, කෘෂිකර්ම සහ පශු සම්පත්, ධිවර, කර්මාන්ත හා ජීවනෝපාය,වාරිමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් වන්දි ලබා දීමට මුදල් වෙන් කර ඇති බවත් මෙහිදී කරුණු දැක්වූ Rebuilding Sri Lanka ජනාධිපති කාර්යය සාධක බලකායේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්. ආර්.ඩී. අපොන්සු මහතා පැවසුවේය. 25000 දීමනාව ලබා දීම මේ වන විට 99%ක් අවසන් කර ඇති අතර නැවත පදිංචිය සඳහා ලබා දෙන රුපියල් 50,000 දීමනාව ගෙවිම 95%ක් අවසන් බවද ඒ මහතා පෙන්වා දුන්නේය. පූර්ණ හානි සිදු වූ නිවාස  සහ අර්ධ හානි සිදු වූ නිවාස සඳහා වන වන්දි ගෙවීම් තවමත් සිදු වන අතර සුරක්ෂා මධ්‍යස්ථාන වසා දැමීම 99%ක් අවසන් කර ඇති බවද අවධාරණය කළේය.

මීට අමතරව ආපදාවට පත් පාසල් සිසුන් සඳහා රුපියල් 25000ක් ලබා දීම, ආපදාවෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවීම, මව හෝ පියා අහිමි වූ දරුවන් සහ මව, පියා දෙදෙනාම අහිමි වූ දරුවන් සඳහා වන්දි ගෙවීම, අපදාවට ලක් වූ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වන්දි ගෙවීම, හානි වූ කෘෂිකර්මික කටයුතු සඳහා වන්දි ගෙවීම මෙන්ම අපදාවට පත් නිවාසවල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීම, නව නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කරගැනීම මෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා ගැනීම කඩිනම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ.

ආපදාවට පත් පාසල්, රෝහල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රාදේශිය මට්ටමින් දත්ත නිවැරදිව ලබා ගැනීම කඩිනම් කිරීම සහ යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීම පිලිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අගමැතිනිය හමුවෙයි

මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දියානු උප ජනාධිපති  ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාරිය හරිනි අමරසූරිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 

අරලිය ගහ මන්දිරය  වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිතුමන්ව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඉන්දියානු උප ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳවද ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා වෙත අග්‍රාමාත්‍යතුමිය සිය සුබපැතුම් එක් කළාය. 

ශ්‍රී ලංකාවේ සිදු කරන තම ප්‍රථම නිල සංචාරය මෙය බව මෙහිදි සඳහන් කළ ඉන්දියානු උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේදී හිමි වූ විශේෂ පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳවද  සිය ස්තූතිය පිරිනැමීය.

ඉන්දියානු දූත පිරිස නියෝජනය කරමින් ධීවර, සත්ව පාලන සහ කිරි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය එස්.පී. සිං බාගෙල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය කේ. ලක්ෂ්මන්, ආචාර්ය මේධා විශ්‍රම් කුල්කර්ණි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  සන්තෝෂ් ජා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය  විජිත හේරත්, ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය  මාධ්‍ය අංශය

සිංහල දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් අගමැතිනිය සුබ නැකතට දරුවන්ට අකුරු කියවා වැඩ අල්ලයි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ සිංහල දෙමිළ අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ නැකැත් චාරිත්‍ර සිදු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී සිදු කෙරිණ.

චාරිත්‍රානුකූලව ​පුණ්‍ය කාලය තුළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගම්පහ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මැදගම ශ්‍රී සුනන්දාරාම ධර්මදූත පිරිවෙන් මහා විහාරාධිපති පූජ්‍ය තුන්මෝදර සමිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.

​මෙවර අලුත් අවුරුදු සංස්කෘතික උත්සවයේ චාරිත්‍ර කටයුතු ගම්පහ දර්ශන වීරසිංහ මහතාගේ නිවසේ පැවති අතර, ​වැඩ ඇල්ලීමේ සුබ නැකත උදාවීමත් සමඟ නිවැසියන්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් නිවස පරිශ්‍රයෙහි පැළයක් රෝපණය කළාය. ඊට සමගාමීව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එම පරිශ්‍රයෙහි පැළ රෝපණය කිරීමේ සත්කාර්යයට දායක වූහ.

​අනතුරුව අග්‍රාමාත්‍යතුමිය දරුවන් සමඟ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්වල ද නිරත විය.

සුබ නැකතට අධ්‍යාපන කටයුතුවල නියැලුණු දරුවන් සමඟ එක්වී අකුරු ලිවීමට, කියවීමට මග පෙන්වමින් දේශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීමේ සුබ කර්තව්‍යය සනිටුහන් කිරීමට ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කටයුතු කළාය.

අනතුරුව අගමැතිතුමිය හා අනිකුත් සම්භාවනීය අමුත්තන් නිවැසියන් සමග ගනුදෙනු කිරීම හා තෑගි හුවමාරු කිරීමේ චාරිත්‍රය ඉටු කර නිවැසියන් සමඟ ආහාර අනුභව කිරීමේ චාරිත්‍රයට ද එක් විය.

සමස්ත රටවැසියන් වෙත අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍යතුමිය,

ශ්‍රී ලංකාව මුහුණ දුන් විවිධ අභියෝග හමුවේ ඒවාට මුහුණ දී නිවැරදිව කළමනාකරණය කර ගැනීමට දායකත්වය සැපයූ දෙස් විදෙස් වෙසෙන සියලු දෙනාට ස්තුතිය පළ කරන බව පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, සූර්ය මංගල්‍යයෙන් නැවුම් බව හා පවිත්‍රතාවය මූර්තිමත් වන බවත්, සූර්යා අප සැමට ජීවය දෙන බව පසක් කරන බවත් ප්‍රකාශ කළ අතර සියලු දෙනාට සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරි අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කළේය.

​මෙම අවස්ථාවට මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත , කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන් ද ගම්පහ දිස්ත්‍රික් ලේකම්, නගරාධිපති, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරියගේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වී තිබේ.

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයකි.

පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් සමඟ එක්ව සුබ නැකතට වැඩ අල්ලමින් මෙම අලුත් අවුරුද්ද සමරන සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි මම පළමුව ප්‍රාර්ථනා කරමි.

අප අලුත් අවුරුද්දේ දකින සුවිශේෂීත්වය හා අපගේ අනන්‍යතාවය වන්නේ එකම නැකතකට චාරිත්‍ර සමූහයක් හරහා මුළු රටක් එකම රිද්මයකට පෙළගැසීමයි. විවිධ කාර්යබහුලත්වයන් සහ අභියෝග හමුවේ වුවද, පවුලක් ලෙස සහ රටක් ලෙස නව බලාපොරොත්තු ඇතිව ඉදිරියට යාමට මෙම කාලය අපට වටිනා අවස්ථාවක් ලබා දෙයි.

අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කොට, සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීමයි. විශේෂයෙන්ම වර්තමාන ගෝලීය අර්බුද හමුවේ වුවද, පසුගිය කාලසීමාවන්හිදී අප ජාතියක් ලෙස විවිධ ස්වභාවික සහ ආර්ථික අභියෝගයන්ට අභීතව මුහුණ දුන් ආකාරය ලෝකයටම ආදර්ශයකි. එම සාමූහික ශක්තිය ඉදිරියටත් පවත්වා ගැනීම අපගේ වගකීමකි.

මෙම සුබ මොහොතේදී, විදෙස්ගතව සේවය කරමින් සිය පවුලේත්, රටේත් අනාගතය වෙනුවෙන් කැපවන ලාංකේය සහෝදර සහෝදරියන් සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරමි. විශේෂයෙන්ම මැදපෙරදිග ඇතුළු ලොව පුරා විසිරී සිටින ඔබ සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.

පැමිණෙන සියලු බාධක ජයගෙන, වඩාත් යහපත් වූත් සෞභාග්‍යමත් වූත් දේශයක් ගොඩනැගීමට අපි සැවොම අලුත් සිතිවිලිවලින් යුතුව අදිටන් කරගනිමු. දැවැන්ත සමාජ සහ දේශපාලනික පරිවර්තනයක කොටස්කරුවන් ලෙස, සැබෑ සතුට සහ සැනසිල්ල උදාවන අනාගතයක් වෙනුවෙන් අපි නොනැවතී කැපවෙමු.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමරන ඔබ සැමට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

​නවීකරණය කළ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට.

මගී ජනතාවට සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් සහතික කෙරේ.

දශක හයකට අධික ඉතිහාසයක් ඇති, වසර ගණනාවක් නිසි නඩත්තුවකින් තොරව පැවති කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ, වර්තමාන රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමියගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

​1964 වසරේ ඉදිකරන ලද මෙම මධ්‍යම බස් නැවතුම්පොළ කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කර පසුගිය අප්‍රේල් 08 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. මගී ජනතාවට වඩාත් ගුණාත්මක සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීම මෙහි මූලික අරමුණයි.

ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කාන්තාවන්ගේ සුවපහසුව සහ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබීම අග්‍රාමාත්‍යතුමියගේ ඇගයීමට ලක් විය. විශේෂයෙන්ම, දුර බැහැර සිට පැමිණෙන කිරිදෙන මවුවරුන් වෙනුවෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඉදිකර ඇති නවීන විවේක ස්ථානය විශේෂ ප්‍රශංසාවට ලක් විය.

මගී ආසන වෙන්කිරීමේ නවීන ක්‍රමවේද සහ මගීන්ට තොරතුරු ලබාගැනීම සඳහා ස්ථාපිත කර ඇති පද්ධති පිළිබඳව ද මෙහිදී සොයා බලන ලද අතර මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇති නවීන නිරීක්ෂණ මැදිරිය ඇතුළු ​ආරක්ෂක විධිවිධාන අග්‍රාමාත්‍යතුමිය විසින් පරීක්ෂාවට ලක් කරන ලදී.

​මෙම සංචාරය අතරතුර, බස් නැවතුම්පොළේ රැඳී සිටි මගී ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ අග්‍රාමාත්‍යතුමිය, නවීකරණය කරන ලද පහසුකම් සහ ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව ඔවුන්ගේ අදහස් විමසා සිටියාය.

​රජයේ අරමුණ වන්නේ පොදු ප්‍රවාහන සේවාව යනු සාමාන්‍ය ජනතාවට ගෞරවනීය ලෙස පරිහරණය කළ හැකි, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ආරක්ෂිත සේවාවක් බවට පත් කිරීම බව මෙහිදී අවධාරණය කෙරිණි.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

කොටුව දුම්රිය ස්ථානය නවීකරණයට රුපියල් මිලියන 2,162ක්.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය අප්‍රේල් 09 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

​ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම "දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය සහ රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 2,162කට අධික මුදලක් ආයෝජනය කෙරේ.

​ඉදිරි මාස 15 ඇතුළත වැඩ අවසන් කිරීමට නියමිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය හරහා දෛනිකව දුම්රිය සේවාව භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැලසීමට අපේක්ෂිතය. එහි ප්‍රධාන අංග කිහිපයකි.

ඒ අතර සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට නවීන ස්වයංක්‍රීය ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධති හඳුන්වා දීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ වැඩිහිටියන්ට බාධාවකින් තොරව ගමන් කළ හැකි වන පරිදි නවීන විදුලි සෝපාන (Lifts) සහ ගුවන් පාලම් පද්ධති ඉදි කිරීම, මගී ආරක්ෂාව තහවුරු කෙරෙන නව ගොඩනැගිලි සංකීර්ණ සහ උසස් ප්‍රමිතියෙන් යුත් සනීපාරක්ෂක පහසුකම් ස්ථාපිත කිරීම සිදු කෙරේ.

​මෙම ව්‍යාපෘතිය නිම වීමත් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානය මගී කේන්ද්‍රීය, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇත.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

දියුණු පොදු ප්‍රවාහනයක් නැති රටක් දියුණු රටක් ලෙස සලකන්න බැහැ. අපගේ ප්‍රතිපත්තියේ අරමුණ වන්නේ දරුවන්ට, කාන්තාවන්ට, වැඩිහිටියන්ට සහ ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් සහ ගෞරවාන්විතව සේවා ලබාගත හැකි තිරසාර ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම බව පැවසුවාය.

​මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එසේම කොළඹ උප නගරාධිපති හේමන්ත වීරසිංහ, දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය