අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ඔබ ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතුයි. එම මුදල්වලට වෙන්නේ මොකක්ද කියලා සොයා බලන්න ඔබට අයිතියක් තියෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු බව හා එම මුදල්වලට වෙන්නේ මොකක්ද කියලා සොයා බලන්න ජනතාවට අයිතියක් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ හැව්ලොක් පෙදෙසෙහි පිහිටි මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිල අසල ශ්‍රවනාගාරයේ අප්‍රේල් 21 දින පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී මයුරාපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලෙහි ආශිර්වාද පූජාවකට ද අග්‍රාමාත්‍යවරිය එක්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"කොළඹ නගරය කියලා කියන්නේ විවිධත්වයෙන් පිරුණු නගරයක්. එහි කුඩා භූමි ප්‍රමාණයක් තුළ විවිධ ජාතීන් ,ආගම් හා පන්තිවල ජනතාව ජීවත් වේ. ඉතාම පොහොසත් පිරිසක් මෙන්ම තමන්ගෙ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට නොහැකි පිරිස් දක්වා විශාල පරාසයක මිනිසුන් ජීවත් වන නගරයක් තමයි කොළඹ කියන්නේ. ඉතින් මෙහි අවශ්‍යතා වැඩියි.කොළඹ කියන්නේ ශ්‍රී ලංකාවේ හදවතයි.

නමුත් අදටත් කොළඹ නගරයේ සංවර්ධනය විය යුතු දේවල් විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම තමයි කොළඹ මහ නගර සභාව වාර්ෂික විශාල ආදායමක් ලබනවා. ඔබ බලනව ඇති ඔබ ගෙවන ඒ බදු මුදල් වලට වෙන්නේ මොනවද කියලා.

ඒ නිසාම ඔබට තේරෙනවා ඇති කොළඹ මහ නගර සභාව දූෂණයෙන් තොර පිරිසක් අතට පත් කළ යුත්තේ ඇයි කියලා. ජාතික ජන බලවේගය ඉදිරිපත් කරලා තියෙන කණ්ඩායම අන්න ඒ වගේ කණ්ඩායමක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙම හමුවට කොළඹ පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විපක්ෂයට මේ මැතිවරණයත් තවත් එක බලය ලබා ගැනීමේ අරගලයක් විතරයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රජයට දූෂණයෙන් තොරව ගමට වෙන් කළ මුදල් ගෙනියන්න මේ මැතිවරණය තීරණාත්මකයි

විපක්ෂයට මෙවර මැතිවරණය තවත් එක බලය ලබා ගැනීමේ අරගලයක් පමණක් වුවත් රජයට අවශ්‍ය ජනතාව වෙනුවෙන් වෙන් කළ මුදල් දූෂණයෙන් තොරව ගමට ගෙනියන්න අවස්ථාව නිර්මාණය කර ගැනීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ, මාළිගාවත්ත කොට්ඨාසයේ පැවති ජනහමුවකට එක්වෙමින් 21 වන දින පස්වරුවේ අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ රජය දැන් වැඩ ආරම්භ කර තිබෙනවා. අපි රජයේ පළවෙනි අයවැය ඉදිරිපත් කළා. ඒ ඉදිරි මාස අට සඳහා. අපිට අවශ්‍ය වුණේ වසර ගණනාවක් බැට කාපු ජනතාවට යම් ප්‍රතිලාභයක් ලබා දෙන සංවර්ධනයක් ඇති කරන්න. ගමේ ආර්ථිකය සංවර්ධනය කරන්න.

අපේ වැරදි හොයන කිසි කෙනෙක් මෙතෙක් මේ රටේ සිටි පාලකයන් සිදු කළ මුදල් නාස්තිය ගැන කතා කරන්නේ නැහැ.

අපි ඉතාමත්ම පරිස්සමෙන් මුදල් කළමනාකරණය කරමින් ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. ව්‍යාපෘති සැලසුම් කරනවා. ඒ ව්‍යාපෘති ගමට ගෙනියන්න බිම් මට්ටමේ නායකත්වයත් පිරිසිදු විය යුතුයි.

ඒ නිසා මේ මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. මේ තියෙන්නේ කල්දාපු මැතිවරණයක් . අපිට මුලින්ම කරන්න වෙලා තියෙන්නේ පැවති රජයන් අතරමඟ නතරකළ සංවර්ධන කටයුතු නිම කිරීම සහ වැරදියට කරපු දේවල් නිවැරදි කරන්න.

රජය වියදම් කරන හැම රුපියලයක් ගැනම දහස් වතාවක් කල්පනා කරනවා. ගම් මට්ටමට රජය වෙන් කළ මුදල් එවන විට එතන ඉන්නේ හොරු නම් අපි ගම සංවර්ධනය කරන්නේ කොහොමද . රට නිවැරදි මගට ගන්න ජනතාව ගත්ත තීරණයේ තුන්වෙනි අභියෝගය ලෙස කල්පනා කරලා පැවති මැතිවරණ හා සමාන ජයග්‍රහණයක් එළැඹෙන මැයි 06 වෙනිදා ලබා ගනිමු.

පාලනයේ ඉහළ සහ බිම්මට්ටමේ දේශපාලන සංස්කෘතීන් දෙකක් තියෙන්න බැහැ. ඉහළ මට්ටම නාස්තියෙන්, දූෂණයෙන්, වංචාවෙන් තොරව වැඩ කරනවා නම් ගම්මට්ටමේත් එවැනිම පාලනයක් තිබිය යුතුයි. ඒ සඳහා ගැලපෙන අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ ජාතික ජන බලවේගය විතරයි.

අපි කොළඹට නගරාධිපති අපේක්ෂකාව ලෙස ඉදිරිපත් කරලා තිබෙන්නේ උඩින් පහත් වුණු කෙනෙක් නෙවෙයි, දේශපාලන පවුල් බලයෙන් ආපු කෙනෙක් නෙවෙයි, කොළඹ ඇවිදලා, කොළඹ ගැන හොඳ අවබෝධයක් තිබෙන ජනතාව ගැන, කොළඹ ගැටළු ගැන අවබෝධ කරගත් අපේක්ෂිකාවක්. ව්‍රායි සහෝදරිය මගේ පෞද්ගලික ලේකම් ලෙස ඉන්නකොට මොන සංවේදී කාරණාවක් ඉදිරිපත් කළත් ඒ ප්‍රශ්න වලට ඉතාමත්ම නිවැරදිව ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාවක් ඇයට තිබෙන බව මම අවබෝධ කරගත්තා. එවැනි කෙනෙකුටයි කොළඹ පුරපති තනතුර ලැබෙන්න ඕන. එක පැලැන්තියකට, එක කොටසකට එක ප්‍රදේශයකට පමණක් සළකන කෙනෙක් කොළඹ නගරාධිපති වෙන්න බැහැ. සමස්ත කොළඹටම නගරාධිපති ලෙස වැඩ කරන්න පුලුවන්, ජනතාවට සංවේදී කෙනෙක්. කොළඹ පුරපති වෙන්න ඕන. ජාතික ජන බලවේගයට අවශ්‍ය ජනතාවට සේවය කරන්න ජනතාව වෙනුවෙන් වැඩ කරන්න එවැනි දේශපාලන අරමුණකින් තමයි ජාතික ජන බලවේගය අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තිබෙන්නේ.

කොළඹ මහනගර සභාවෙි වසරක ආදායම බිලියන 30යි. ඒක ජනතාව වෙනුවෙන් වෙන් කළා නම් අද කොළඹ මෙහෙම තියෙන්න බැහැ. ආනන්ද, නාලන්ද, රාජකීය පාසැල් වගේම ගුරුවරු නැති, ජලය නැති, වැසිකිලි පහසුකම්වත් නැති පාසල් කොළඹ තිබෙනවා. එහෙම වුණේ කොහොමද? ප්‍රාදේශීය මට්ටමෙි ගැටලුවල වැඩි වගකීමක් තිබෙන්නේ පලාත් පාලන ආයතන වලට, ඒ ආයතනවලට අදාල වගකීම් වෙනුවෙන් වැඩ කරන්න බැරිනම් අපි කොහොමද අලුත් රටක් නිර්මාණය කරන්නේ.

අද රජයේ වැඩපිළිවෙල සමග රටේ ආර්ථිකය වර්ධනය වෙන්න පටන් අරන් තිබෙනවා. සංචාරකයින් මේ රටට එන්න පටන් අරන් තිබෙනවා. රටේ සංවර්ධනයන් ආරම්භ කරමින් යනවා, තව කරන්න වැඩ රාශියක් තිබෙනවා. ජාතික වශයෙන් කරන සැලසුම් බිම් මට්ටමේ යථාර්ථයක් කරන්න නම් නගරසභා ඇතුළු පළාත් පාලන ආයතන වෙනුවෙන් නිවැරදි නායකත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

දූෂිත දේශපාලනයෙන් රට මුදාගෙන මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න විසඳීමට ජනතාව සිය ඡන්දය කල්පනාකාරීව භාවිත කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, කොළඹ පුරපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් ඇතුළු නගර සභා අපේක්ෂකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අපි ඔබට ඇහුම්කන් දෙන්න සූදානම්. - ආචාර්ය හරිනි අමරසූරිය

සියලු පුරවැසියන් සාමයෙන් , සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබා දෙන්න අපට අවශ්‍යයි.

සියලු පුරවැසියන් සාමයෙන් , සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට ලබා දෙන්න අවශ්‍ය බව හා ජනතාවට ඇහුම්කන් දෙන්න රජය සුදානම් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සෙට්ටිකුලම් මැණික් ෆාම් ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ උක්කුලන්කුලම ක්‍රීඩාංගනයේ අප්‍රේල් 20 දින පැවති ජන හමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

"අපේ ඉතිහාසයේ වැඩිම මන්ත්‍රීවරියන් පිරිසක් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති පාර්ලිමේන්තුව තමයි මේ. මීට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ට ම මන්ත්‍රීවරියන් හිටියේ 5% ටත් අඩුවෙන්. නමුත් මේ රටේ ජනගහනයෙන් 52%ක් ම කාන්තාවන්.

මේ රටේ ආර්ථිකය රැකගන්න, පවුල් සංස්ථාව පවත්වාගෙන යන, සමාජය පවත්වාගෙන යන්න විශාල වැඩකොටසක් කරන ගැහැනු අපට පැවති නියෝජනය ඉතාමත් අඩුයි. ඉතින් අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙ ඊලඟ මැතිවරණයේ දී වන්නි දිස්ත්‍රික්කයෙන් සහෝදර මන්ත්‍රීවරුන් පමණක් නොවෙයි මන්ත්‍රී සහෝදරියන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු එවන්න කියලා.

වවුනියාව කියන්නේ මේ වන විට දියුණු වෙන නගරයක්. මිනිසුන්ට ප්‍රාදේශීය සභාවකින් සිද්ධ විය යුතු දේවල් සිද්ධ වෙන්න ඕන. ගමේ දියුණුවට ප්‍රාදේශීය සභාව සක්‍රීයව මැදිහත් වෙන්න ඕන.

අධ්‍යාපනය කියන්නේ උතුරේ ජනතාවට ඉතා වැදගත් දෙයක් කියලා අපි දන්නවා. ඔබ අධ්‍යාපනයට ලොකු වටිනාකමක් දෙනවා. පොදුවේ රටේ අධ්‍යාපනයේ නාස්තිවෙලා දුර්වල වෙලා තියෙන්නේ. විශේෂයෙන් උතුරට අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දිය යුතු අවධානය නොදීම නිසා වෙනත් ප්‍රදේශවලටත් වඩා දුෂ්කර වෙලා තියෙනවා. මේ අතර මට තවත් වඩාත් භයානක දෙයක් දැනගන්න ලැබුණා. තරුණ තරුණියන් අධ්‍යාපනයට තියෙන වටිනාකම එන්න එන්න අඩුවෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය හා අරක්කු සුලභව දැන් හැමතැනම තියෙනවා. ඒවයෙන් වැලකිලා තරුණ තරුණියන්ට සතුටු වෙන්න අවශ්‍ය මාර්ග මෙහෙ නෑ. විද්‍යාව, කලාව, නාට්‍ය වැනි ක්ෂේත්‍ර දියුණු නොවීම තුළ ඔවුන්ට සතුටු වීමට මාර්ග නැති වෙලා තියෙනවා. ඒ නිසා මේකට විශාල මැදිහත්වීමක් අවශ්‍යයි කියලා මම අවබෝධ කරගත්තා.

ඔබ දුෂණයෙන් තොර පිරිසක් තෝරගත්තොත් අපිට ඔබ වෙනුවෙන් වෙන් කරන මුදල් බය නැතුව ඔවුන් අතට පත්කරන්න පුළුවන්. ඔබ වෙනුවෙන් ඔබේ ගමේ දියුණුව වෙනුවෙන් යොදවන්න. ඒ නිසයි ඔබේ තේරීම අපිට වැදගත් වෙන්නේ."යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම හමුවලට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, වවුනියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. තිලකනාදන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජෙගදීශ්වරන් යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාසල් අතර පවතින විශමතාවය අවසන් කිරීමේ වැඩපිළිවෙළ 2026 වසරෙන් ඇරඹෙයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක්

2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.

එමෙන්ම කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීම ඉදිරියේදී සිදුවන බව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල් වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් එම ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදී.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් ගුරු පුහුණු විද්‍යාලවල පහසුකම් දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී අවධාරණය කරන ලදී. එමෙන්ම වසර ගණනාවක් පුරාවට වසා ඇති වව්නියා දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ගුරු විද්‍යාලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට නැවත විවෘත කිරීම මෙවර අයවැයෙන් සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

දරුවන්ට සමාජය තුළ ගොඩනැගෙන්නට අවශ්‍ය කුසලතා වර්ධනය කෙරෙන, පෞරුෂය ශක්තිමත් කරන නිදහස් අධ්‍යාපනය තහවුරු කරන ,නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථය හොඳින් ම සාක්ෂාත් වන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙහි දී ප්‍රකාශ කරන ලදී.

මෙම ජන හමුව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, වව්නියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. තිලකනාදන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජෙගදීශ්වරන් යන මහත්වරුන් සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වව්නියාව නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග අපේක්ෂයන් ඇතුළුව ප්‍රදේශවාසීන් රැසක් සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දූෂිත දේශපාලනයේ යෙදුණු අය දැන් හොදටම කලබල වෙලා ඉන්නේ. - ආචාර්ය හරිනි අමරසුරිය

දේශපාලනිකව අනාථ වූවන්ගේ අවසාන ලැගුම්හල ජාතිවාදයයි කියන කතාව මේ දිනවල සනාථ කරමින් ඉන්නවා.

"දූෂිත දේශපාලනයේ යෙදුණු අය දැන් හොදටම කලබල වී ඇති බව හා ’දේශපාලනිකව අනාථ වූවන්ගේ අවසාන ලැගුම්හල ජාතිවාදය’යි කියන කතාව මේ දිනවල සනාථ කරමින් ඉන්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වවුනියා දිස්ත්‍රික් නේඩුංකේණි සංස්කෘතික ශාලාවේ අප්‍රේල් 20 දින පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

"අපේ රටේ පැරණි දේශපාලනය තිබුණේ උතුර, දකුණ, නැගෙනහිර සහ කඳුකරය කියලා වෙන වෙනම. ඒ අය ප්‍රදේශවලට, ජාතිවලට වෙන් කරලයි එයාලගේ දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන ගියේ. ඒ තුළින්ම තමයි දූෂිත දේශපාලනය බිහිවුණේ. කතාවට කියනවනේ දේශපාලනිකව අනාථ වන අයගේ ලැගුම්හල ජාතිවාදයයි කියලා. නමුත් ඔබ ජාති ආගම් පසෙකලා අපේ රජය බලයට ගෙනාවේ මේ සංස්කෘතිය වෙනස් කරන්න කියලා අපි දන්නවා. පළමු වතාවටයි මේ රටේ ජනතාව ප්‍රතිපත්තිය හා දැක්ම බලලා ඡන්දය ලබා දුන්නේ.

ඊයේ මම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට සහභාගී වුණා. ඒ අතර එහි නිවාස කිහිපයකට ද ගියා. එම නිවාසවල එක් අයෙක් හෝ විදේශ ගත වෙලා, පවුලෙන් වෙන් වෙලා ඉන්නේ. මේකට හේතුව තමන්ගේ රටේ, තමන්ගේ ගමේ ඉදන් ආර්ථිකව දියුණු වෙන්න ක්‍රමයක් නොමැති වීම.

මෙතෙක් කාලයක් ගම සංවර්ධනය නොවුණේ ප්‍රාදේශීය සභා වලට මුදල් නොමැති නිසා නොවේ. පාලකයෝ ජනතා ප්‍රශ්න ගැන සංවේදී නොවූ නිසා.

ප්‍රාදේශීය සභාව තියෙන්නේ තමන්ගේ ගමට අවශ්‍ය සංවර්ධනය සිදු කරන්න. ගමේ පාරවල් , කාණු පද්ධතිය, පෙර පාසල්, බස් නැවතුම් පොළවල් වගේ දේවල් පවත්වගෙන යන්න. මේවා මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල්. අපි ඕනවටත් වඩා දුක් වින්දා. මේ සියලු දේවල් මේ පරම්පරාවෙන් ඉවර වෙන්න ඕනේ. ඊළඟ පරම්පරාවට ලස්සන පොහොසත් රටක් හිමිකර දීම තමයි අපේ අරමුණ."යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම හමුවට සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජෙගදීශ්වරන් යන මහත්වරුන් සහ ජාතික ජනබලවේග පළාත් පාලන අපේක්ෂකයන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරියගේ පාස්කු ඉරිදා දින පණිවිඩය.

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කිතුනුවන් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සමරන පාස්කු ඉරිදාව, අපට බලාපොරොත්තුවේ, අලුත් වීමේ සහ අනුකම්පාවේ සදාතනික බලය සිහිපත් කරවයි. පාස්කු උත්සවය යනු අපගේ මනුෂ්‍යත්වය සහ විපත් හමුවේ අපව එක්සත් කරන වටිනාකම් ඇදහිලි, ප්‍රේමය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ නැවත මෙනෙහි කිරීමට අවස්ථාව උදාවන කාලයයි. මෙම පූජනීය අවස්ථාව සමරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි. මෙම පාස්කු උත්සවය ඔබටත් ඔබේ පවුලටත් සාමය සහ ශක්තිය ගෙන එනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා සිදු වූ බිහිසුණු සිදුවීමේ අඳුරු මතක අප සිතින් බැහැරව ගොස් නැත. අද, වසර හයකට පසුවත්, තවමත් එහි වේදනාව ඉතිරිව ඇති අතර වින්දිතයින් වෙනුවෙන් වූ අපගේ වගකීම ද එලෙසම පවතී. ඔවුන්ගේ පවුල් සමඟ, මෙන්ම සමස්ථ ප්‍රජාව සමඟද සත්‍යය සහ යුක්තිය සොයන සියලුම පුරවැසියන් එක්ව සිටගනු ඇත.

රජයක් ලෙස, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු වන බව අපි නැවත තහවුරු කරමු. එම ප්‍රහාරය විමර්ශනය කිරීමට සහ බාධාවකින් හෝ ප්‍රමාදයකින් තොරව සියලු සත්‍යයන් අනාවරණය කර ගැනීමට අඛණ්ඩව දරන උත්සාහයන් අපගේ ප්‍රමුඛතාවයක් ලෙස පවතී. මහජන විශ්වාසය නැවත ඇති කිරීම සඳහා වගවීම, විනිවිදභාවය සහ අව්‍යාජ යුක්තිය පසිඳලීම අත්‍යවශ්‍ය වේ.

සෑම ජීවිතයකම ගෞරවය ආරක්ෂා කරමින් සහ සැමට සමානාත්මතාවය සහ යුක්තිය ලැබිය යුතු අනාගතයක් වෙනුවෙන් කටයුතු කරමින්, ශක්තියෙන් හා එකමුතුකමින් ඉදිරියට යමු.

ඔබ සැමට සාමකාමී සහ ආශිර්වාද ලත් පාස්කු මංගල්‍යයක් වේවා..! යැයි ප්‍රාර්ථනා කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
2025 අප්‍රේල් 20 දින.