එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ UNDP ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂතුමිය, අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා පැසිෆික් කලාපය සඳහා වන අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය ජූලි 31 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් UNDP සංවිධානය ලබාදෙන අඛණ්ඩ සහයෝගය සහ හවුල්කාරිත්වය ඇගයීමට ලක් කළාය.
පසුගිය රජයන් විසින් ආරම්භ කරන ලද වැඩසටහන් අවසන් කිරීමට මෙන්ම වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවන් ඉදිරියට ගෙනයාමට ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී නියෝජිත පිරිස දැනුවත් කළාය.
රාජ්‍ය අංශයේ සමාලෝචන ක්‍රියාවලිය, විනිවිදභාවයෙන් සහ දක්ෂතාව පදනම් කරගත් ක්‍රමවේදයන් ඔස්සේ බඳවා ගැනීම් සහ රාජ්‍ය අංශය තුළ මානව සම්පත් කළමනාකරණය ඉහළ නැංවීමට ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
එමෙන්ම ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම්, ඩිජිටල් පාලනය සහ රාජ්‍ය සේවා සැපයීම කාර්යක්ෂම කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම ඇතුළු රජය ගෙන ඇති ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සහ ඩිජිටල් පාලන පියවර සඳහා මෙන්ම රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගීමේ කාර්යය සඳහා අඛණ්ඩව සහය දෙන බවට විග්නරාජා මහත්මිය මෙහිදී අවධාරණය කළා ය.
සංයුක්ත අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, තිරසාර පාරිසරික සම්පත් කළමනාකරණය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ව්‍යාප්ත කිරීම සහ තිරසාර සංවර්ධනය කරා යන ගමන වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.
කාලගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීම සහ අඩු කාබන් විමෝචනයක් උදෙසා අරමුදල් රැස්කිරීම සඳහා වූ පුළුල් දේශගුණික මුල්‍ය උපායමාර්ගයක් සකස් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද අග්‍රාමාත්‍යතුමිය පැහැදිලි කළාය.
අනාගත ලෝකයේ බිහිවෙමින් තිබෙන රැකියා වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, අනාගත ආර්ථික ඉල්ලුමට සරිලන පරිදි කුසලතා සංවර්ධනයට සහය වීමටත් UNDP සංවිධානය මගින් දැනට සිදුකරනු ලබන ’Future Skills Study’ පිළිබඳ යාවත්කාලීන තොරතුරු ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
තවද, ශ්‍රී ලංකාවේ ’සුරක්ෂා ආර්ථිකය’ (care economy) වැඩිදියුණු කිරීම, කාන්තා ශ්‍රමදායකත්වය ඉහළ නැංවීම සහ වඩාත් අන්තර්ග්‍රහණය වූ ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ UNDP නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය, නියෝජ්‍ය නේවාසික නියෝජිත Marina Ten මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





