අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා - අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2025 වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කරන්නත්, සැළසුම් සකස් කරන්නත් ආයතනික ව්‍යුහයන් ගොඩනගන්නත් අපිට හැකි වුණා.

මුදල් වෙන් කළා කියලා සියල්ල සිදු වෙන්නේ නැහැ. ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති, සැළසුමකට අනුව ක්‍රියාත්මක කළ යුතුයි

අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත්, 2025 වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමටත්, සැළසුම් සකස් කිරීමටත්, ආයතනික ව්‍යුහයන් ගොඩනැගීමටත් හැකි වු අතර මුදල් වෙන් කළ පමණින් සියල්ල සිදු නොවන බැවින් ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති සැළසුමකට අනුව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වැයශීර්ෂය පිලිබඳ විවාදයේ අදහස් දක්වමින් අද (25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

ගුණාත්මක අධ්‍යාපනයක් රටක් තුල ඇති කරන්න නම් අධ්‍යාපනය පිළිබඳ තිරණ, ප්‍රතිපත්ති මත ගත යුතුයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ශක්තිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි. මේ දෙකම කරන්න නම් මුදලි තිබිය යුතුයි. අපේ රටේ ඉතිහාසය පුරාම මේ අංශ තුන හරියට සිදු නොවීම නිසා තමයි අද අපිට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල ගැටළු ගණනාවක් මතුව තිබෙන්නේ. මේ සියලු ගැටළු තිබියදී ගරුවරු, විදුහල්පතිවරු, නිලධාරීන් අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවය නිසා අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම පවත්වාගෙන යන්න හැකි වෙලා තිබෙනවා.

අපි 2025 වසර තුළ සිදුකළ ප්‍රධානම දේ තමයි අපේ අධ්‍යාපනය තුළ නිවැරදි තීන්දු තීරණ ගැනීම, අධ්‍යාපනයට අදාල ආයතන හදුනාගෙන පවතින ගැටළු නිසියාකාරව විසදමින්, ආයතනික ව්‍යුහයන් නිවැරදි කරමින්, ප්‍රතිපත්ති සමග ඒකාග්‍ර කරමින් මුදල් නිසියාකාරව, ප්‍රතිපත්ති අනුව වියදම් කරමින් 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කටයුතු කිරීමයි.

ප්‍රතිපත්ති හදන එකම නෙමෙයි ගුණාත්මක අධ්‍යාපනයක් ක්‍රියාත්මක කිරීමේදි අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හොඳ සැළැස්මක් අවශ්‍යයි. නිලධාරීන්ට හරි ඉලක්ක අවශ්‍යයි. වගකීම් හරියට බෙදා ගන්න ඕන. ඉතිහාසයේ පැවති ප්‍රතිපත්ති දිහා බැලුවම පාසල් තුළ විෂයමාලා වෙනස් කිරීමට පැවති යෝජනාවල ලොකු වෙනස්කම් සිදුවෙලා නැහැ. නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සැළසුම්කරණයත්, ආයතනින ව්‍යුහයත්, මුදල් වෙන් කිරීමත් නිසියාකාරව සිදු නොවීමයි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවෙන්න හේතු වෙලා තිබෙන්නේ.

2025 තුළ අන්න ඒ ප්‍රශ්න විසදන්න සාධනීය පියවරයන් කිහිපයක් ගන්න අපිට හැකි වුණා. ඒ වෙනුවෙන් ආයතනික පද්ධතියක් ගොඩනගන්න අපිට හැකි වුණා. අධ්‍යාපන අමාත්‍යංශය ගන්න තීන්දු තීරණ වෙනුවෙන් අවධානය යොමු කළ මූලික අංශ හතරක් තිබෙනවා. ඒ තමයි, සමානාත්මතාවය තුලින් අධ්‍යාපන විෂමතා අවම කිරීම, ගුණාත්මකභාවය වැඩිකිරීම, ආණ්ඩුරණය සහ දත්ත සහ විද්‍යාත්මක සාධක මත ප්‍රතිපත්ති සකස් කිරීම කියන අංශ. මම සතුටට පත්වෙනවා මේ අංශ හතර මත ප්‍රතිපත්ති සකස් කරන්නත්, සැළසුම් සකස් කරන්නත්, ආයතනික ව්‍යුහයන් ගොඩනගන්නත් අපිට හැකිවීම ගැන.

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ගැටළුව පිළිබඳ අපි පත්කළ කමිටුවක් මගින් නිකුත්කළ වාර්තාවේ දැක්වෙනවා, පසුගිය කාලයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොතරම් දුරට කඩා වැට්ලා තිබුණද කියලා, තිබිය යුතු මූලධර්ම සහ ප්‍රතිපත්ති වෙනුවට අතිශයින් පෞද්ගලික හේතු සහ දේශපාලන අරමුණු මත තීන්දු තීරණ ගත් නිසා ඒ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය කඩා වැටීම සහ දරුවන්ට කර තිබෙන අසාධාරණය ඒ වාර්තාවෙන් පැහඅදිලි වෙනවා.

නිසි සැළසුම්කරණයක් නොමැති නිසාත්, ආයතනික ව්‍යුහයන් වල දුර්වලතා නිසාත්, මෙන්න මේ විදිහට අධ්‍යාපනයට අදාල සියලු ආයතන කඩාවැටිලා තිබුණා. 2025 වසර තුළ අපිට ඒ තත්වය නිවැරදි තැනකට ගේන්න හැකියාව ලැබුණා.

වසර ගණනාවකට පස්සේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ඒ බිලියන 7.04ක්. ඒක දළ දේශිය නිෂ්පාදනයෙන් 2.04%ක්. අපි කොතනකවත් කිව්වේ නැහැ පළමු වසර තුළ 6%ක් වෙන් කරනවා කියලා. අපි දන්නවා ප්‍රතිපත්ති හදමින්, ආයතන ශක්තිමත් කරමින් තමයි එතනට යන්න පුළුවන්. මුදල් වෙන් කළා කියලා සියල්ල සිදු වෙන්නේ නැහැ. ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් මුදල් වෙන් කරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මිලියන තුන් දහසක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි අපි මේ කටයුතු සිදු කරගෙන යන්නේ. 2025 අධ්‍යාපන අමාත්‍යංශය කළ වියදම පිළිබඳ මෙහිදී කතා කළා. අප්‍රේල් මාසේ අග තමයි අපේ අයවැය සම්මත වුණේ. මුදල් වියදම් කරන්න පටන්ගත්තේ මැයි මාසේ ඉදලා. ඒ අනුව අපේ මුල්‍ය ප්‍රගතිය 18%ක්. දෙසැම්බර් වනවිට අපේ ප්‍රගතිය 69%යි. මේ තරම් කාර්යක්ෂමතාවයක් මීට පෙර අධ්‍යාපනය වෙනුවෙන් පෙන්නුම් කර නැහැ. මේ ප්‍රගතිය අත්කර ගත්තේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට ඉලක්ක ලබා දීලා. අධීක්ෂණය කරලා. 2026 සහ 2027 වනවිට මීට වඩා ප්‍රගතියක් අපිට අත් කර ගන්න පුළුවන්.

අභියෝග තියනවා, දුර්වලතා බොහොමයක් තියන ක්ෂේත්‍රයක් අපි දියුණු කරමින් යන්නේ. තවත් කාර්යක්ෂමතාව වැඩි වෙන්න ඕන, පාසලක, විශ්වවිද්‍යාලයක ප්‍රශ්නයක් මතු වුණාම කාර්යක්ෂමව අවධානය යොමු කරන්න අවශයයි. පවතින සීමා අවම කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. අභියෝග භාර ගෙන ප්‍රතිපත්ති සකස් කරමින්, සැළසුම් සකස් කරමින් පියවරෙන් පියවර ඉදිරියට යන ගමනක් බව ද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් විධිමත් පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරමින් විශ්ව පෙරපාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් සමග නොවැම්බර් 24 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත් පුහුණු කරුවන් තෝරා ගැනීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම, පෙරපාසල් ගුරුවරුන්ට දීමනා සහ දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් මුදල් කොමිසම සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු විය.

පෙර පාසල් නියාමනය කිරීම සහ රජයේ ලියාපදිංචි පෙර පාසල් හරහා දරුවන්ට විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීමෙි වැදගත්කම හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා රජය සහ පෙරපාසල් අතර විධිමත් සම්බන්ධිකරණයක් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව විෂය මාලාවක් සකස් කිරීම, පෙර පාසල් යටිතල පහසුකම් දියුණු කිරීම, පෙර පාසල් ගුරුවරුන් මුහුණ දෙන ගැටළු හා පෙරපාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආසියානු ඵලදායිතා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වයි.

කොළඹදී පැවති ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම සහ ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව, නොවැම්බර් 20 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම පිළිගන්වන ලදී.

මෙම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන් වන, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම, ශ්‍රී ලංකාවේ ජාතික ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ලබා දේ. එමෙන්ම මෙම සැලැස්ම මගින් කර්මාන්තවල ඵලදායිතාව වැඩි දියුණු කිරීම මෙන්ම කෙටි කාලීනව පෝෂණය කළ හැකි නව කර්මාන්ත සංවර්ධනයට සහාය වන ප්‍රතිපත්ති යෝජනා ද ඉදිරිපත් කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ආසියානු ඵලදායිතා සංවිධානයේ අඛණ්ඩ සහයෝගය අගය කළ අතර, දේශීය වෙළඳපොළ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම ගෝලීය වේදිකාව සඳහා උපායමාර්ගික පිවිසුම් මාර්ග හඳුනා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

එමෙන්ම නැගී එන උපායමාර්ගික ප්‍රවේශ මාර්ගයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සඳහා අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී එහි පුළුල් කාර්යභාරය පිළිබඳවද පැහැදිලි කළා ය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය Indra Pradana Singawinata; ආසියානු ඵලදායිතා සංවිධානයේ ඉරාන අංශයේ ප්‍රධානී Arsyoni Buana මහතා සහ කොරියානු සංවර්ධන ආයතනයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගීවූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්

2025 නොවැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේ දී තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කළ අතර, ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් අවධාරණය කළා ය.

ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කරගනිමින් සිදු කරනු ලබන එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, රටවල් 160 කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයනය කටයුතු, ඉගැන්වීම්, පර්යේෂණ, අදහස් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙයි.

විභාග පාදක පද්ධතියකින් සහයෝගී ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් ගොඩ නැඟීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමඟ සමපාත වන විද්වතුන් බිහි කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිසට මහජන කටයුතු නිලධාරි Menaka Nayyar මහත්මිය, ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය Patrick McNamara; සහ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය සහ SGBV සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නවක වදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රභා මනුරත්න ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Matthew John Duckworth මහතා 2025 නොවැම්බර් 20 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවිමේ දී ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව පිළිබඳවත්, දෙරටේ ජනතාව අතර පවතින සබඳතා පිළිබඳවත් අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, ආර්ථික හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් කලාපීය සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳවත් සිහිපත් කළ අතර, කලාපීය සහ බහුපාර්ශ්වික වැඩසටහන්වල වැදගත්කම පිළිබඳවද අවධාරණය කළා ය.

එසේම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සහයෝගීතාවය වර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ අතර, වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන රාමු සහ තාක්ෂණික සහාය සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඉල්ලා සිටියා ය. එමෙන්ම වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම සඳහා දැනුම, තාක්ෂණික විශේෂඥතාව සහ අත්දැකීම් බෙදා ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ පළමු ලේකම් (සංවර්ධන) Zoe Kidd මහත්මිය සහ ශ්‍රී ලංකාවේ Austrade හි අධ්‍යාපන අධ්‍යක්ෂ Sandi Seneviratne මහත්මිය ද, ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, නැගෙනහිර ආසියා සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ Dhawood Amanullah මහතා සහ නැගෙනහිර ආසියා සහ ඕෂනියා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තිලෝමා අබයජීව යන මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඇරඹෙයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ධීවර ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ මට්ටමට ගෙන ඒමට අවශ්‍ය සහය රජය ලබා දෙනවා

ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට පළමු වතාවට නීල ආර්ථිකය (Blue Economy) වෙනුවෙන් ප්‍රතිපත්ති, සැළසුම් සහ ක්‍රමවේද සකස් කරනවා

ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

“ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක්” යන තේමාව යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සංවිධානය කළ ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025" ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අද (21) අග්‍රාමාත්‍යතුමිය එසේ ප්‍රකාශ කළාය .

ධීවර හා ජලජ සම්පත් ආශ්‍රීත නිෂ්පාදන නවීන තාක්ෂණික උපාංග, ජලජ පැලෑටි, විසිතුරු මසුන් ඇතුළු ධීවර ක්ෂේත්‍රයට අදාල අංශ නියෝජනය වන පරිදි පැවැත්වෙන ඇක්වා ප්ලැනට් 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය අද (21) සිට 23 දක්වා නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත් වේ.

සමාරම්භක උත්සවයට සමගාමීව ධීවර ප්‍රජාව වෙනුවෙන් රජය හදුන්වා දුන් විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රධානය කිරීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඇක්වා ප්ලැනට් 2025 සංකේතවත් කරමින් මුල් දින කවරයක් සහ සමරු මුදදරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු විය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ප්‍රකාශ කළාය.

"ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා - 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනය" මම දකින්නේ අපේ රජයේ "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" කියන ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපි බලාපොරොත්තු වන ශ්‍රීලංකාව ධීවර ක්ෂේත්‍රයේ ගෝලීය අපනයන කේන්ද්‍රස්ථානයක් (Global Export Hub) බවට පත්කිරීමේ දැක්ම යථාර්ථයක් කිරීමේ පියවරක් ලෙසයි.

ජාතික ආර්ථිකයේ වැදගත් ස්ථානයක් වගේම අපේ රටේ විශාල පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය බවට ධීවර කර්මාන්තය පත්වී තිබෙනවා.

ඒ සඳහා ජලජීවී වගාව සහ අභ්‍යන්තර ධීවර කර්මාන්තය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම අවශ්‍යයි. ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතුයි.

ඒ සඳහා විද්‍යානුකූල පදනමකින් (science-based) සම්පත් කළමනාකරණය, ඇසුරුම්කරණය වගේම , පරිසර හිතකාමී ධීවර ආම්පන්න භාවිත කිරීම, ආරක්ෂාව සහ නවීන ජලජීවී වගා පද්ධති පිළිබඳ දැනුම හා තාක්ෂණය ලබා ගැනීමටත් ගැනීමටත් අවශ්‍යයි.

ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන්න රජයක් ලෙස අපි සුදානම් බව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.

විශේෂයෙන් අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය මූළ්‍ය පහසුකම් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම ධීවර කර්මාන්තය ආශ්‍රීත ග්‍රාමීය කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා දීමට රජය කටයුතු කරමින් තිබෙනවා.

ඔබ දන්නවා මේ දවස්වල ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙන්නේ අපේ රජයේ දෙවැනි අයවැය.

2026 අයවැය තුළින් ධීවර කර්මාන්යේ සංවර්ධනයට රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අපේ ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට පළමු වතාවට නීල ආර්ථිකය (Blue Economy) වෙනුවෙන් ප්‍රතිපත්ති, සැළසුම් සහ ක්‍රමවේද සකස් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.

වරාය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් අපි වෙන් කර තිබෙනවා. ඒ වගේම වාලච්චේන ධීවර වරාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 350ක් වෙන්කළා. ධීවරයින් සඳහා ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. චන්ද්‍රිකා පාදක ධීවර කලාප ලුහුබැඳීමේ පද්ධති (satellite-based fish-ground tracking systems) සඳහාත් රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට රජය කටයුතු කළා. ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන ඇති කිරීම, ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ කර්මාන්තයේ තාක්ෂණික දියුණුව සඳහාත් මෙවර අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව මම කියන්න කැමතියි.

අවසාන වශයෙන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සියළු දෙනාට ළගා කිරීමේ අපේ කාර්යට දායක වන ලෙස ධීවර කර්මාන්තයේ නියැළෙන ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා

කඩාවැටී තිබූ ධීවර කර්මාන්තය නගාසිටවීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කල බවත් එහි එක් පියවරක් ලෙස මෙම ප්‍රදර්ශනය සැලසුම් කල බවයි. මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ අප රටේ සාගර සම්පත් පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම හා සාගර සම්පත වැඩිදියුණු කිරීමට, එම කර්මාන්තවලට ජනතාව දායක කරගැනීම තුල ජනතාවට ප්‍රතිලාභ හා රටේ අපනයන ආදායම වැඩිකර ගැනීමයි

ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ඩිජිටල් ආර්ථික අරුණ ජයසේකර, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, රජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන්, විදේශ නියෝජිතයින් සහ ධීවර ජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය