අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ගුණාත්මක උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඊයේ (දෙසැම්බර් 15) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල, විදේශීය සංවිධාන අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අනුව ඒ සඳහා වන අනුමැතිය හිමි විය.

ඒ අනුව එක් තීරයක් සහ එක් මාවතක් සඳහා වන ජාතික හා ජාත්‍යන්තර විද්‍යා සන්ධානය (Alliance of National and International Science Organizations for the Belt and Road Regions ANSO) පේරාදෙණිය විශ්ව විද්‍යාලය අතර දේශගුණික විපර්යාස හා පරිසර දුෂණය පිළිබඳ ජාත්‍යන්තර ජල සමුළුව පැවැත්වීමට අදාළව වන ව්‍යාපෘති ගිවිසුම.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ චීනයේ හොංකොං චීන විශ්ව විද්‍යාලය අතර මනුෂ්‍ය හා සත්ත්ව ප්‍රජාව තුළ MRSA රෝගය (Methicillin Resistant Staphylococcus Aureus) සම්ප්‍රේෂණය වීම පිළිබඳව හා ඒවායේ ක්ෂුද්‍රජීවී නාශක හා ජෛව නාශක ප්‍රතිරෝධය පැහැදිලි කර ගැනීම සහ ජානමය විවිධත්වය අධ්‍යයනය කිරීම අරමුණු කර ගනිමින්, පර්යේෂණ සහයෝගිතා ගිවිසුම (Research Collaboration Agreement) සහ ද්‍රව්‍ය හුවමාරු ගිවිසුම (Material Transfer Agreement).

කැලණිය විශ්ව විද්‍යාලය සහ ජපානයේ - කියෝතෝ තොරතුරු විද්‍යා උපාධි අධ්‍යයන විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගිතාව ඉහළ නැංවීම, පීඨ හා සිසුන් අතර අධ්‍යාපන, වෘත්තීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් මිත්‍රත්වය ඉහළ නැංවීම සහ ඒකාබද්ධ පර්යේෂණ, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

වවුනියා විශ්ව විද්‍යාලය සහ මැඩ්‍රාස් ඉන්දියානු තාක්ෂණ ආයතනය අතර අන්‍යෝන්‍ය එකඟතාව සහිත ක්ෂේත්‍ර වල අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතාව ඇති කර ගැනීම, අධ්‍යයන තොරතුරු සහ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම, සිසුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩල හුවමාරුව සහ ඒකාබද්ධ සම්මන්ත්‍රණ, වැඩමුළු සඳහා අනුග්‍රහය ලබා දීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

ඉන්දියානු සංස්කෘතික සබඳතා කවුන්සිලය (Indian Council for Cultural Relations) සහ වවුනියා විශ්ව විද්‍යාලය අතර ආරාධික මහාචාර්යවරුන්ගේ සේවය කොන්ත්‍රාත් පදනම මත වවුනියා විශ්ව විද්‍යාලය වෙත ලබා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම.

යන ගිවිසුම් අත්සන් කිරීම සඳහා ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අභිනවයෙන් පත් වූ කැනේඩියානු මහ කොමසාරිස්වරිය, අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ධූරයට අභිනවයෙන් පත් වූ Isabelle Catherine Martin මහත්මිය, 2025 දෙසැම්බර් 15 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසන තත්ත්වය පිළිබඳව සිය ශෝකය පළ කළ කැනේඩියානු මහ කොමසාරිස්වරිය, රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට කැනේඩියානු රජය සූදානම් බව සඳහන් කළාය.

මුදා ගැනීමේ මෙහෙයුම් සහ ක්ෂණික සහන දියත් කිරීම් අවසන් කිරීමෙන් පසු දෙවන අදියර ලෙස රට නැවත ගොඩ නැගීමේ අදියරට පිවිස ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කැනඩාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව විසින් ලබා දුන් සහාය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය.

දෙසැම්බර් 16 සිට පාසල් නැවත විවෘත කිරීමට නියමිත බවත්, බහුතරයකට සාමාන්‍ය ලෙස අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වන බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සුදුසු පරිදි සහන මධ්‍යස්ථාන ක්‍රමයෙන් අඩු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළාය.

ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ගොඩ නැගීම සඳහා වැදගත් කෘෂිකාර්මික අංශ හඳුනා ගනිමින්, කෘෂිකාර්මික අංශයේ අභිවෘද්ධිය සඳහා කැනේඩියානු රජයේ සහාය ලබා දීමට කටයුතු කරන බව මහ කොමසාරිස්වරිය තවදුරටත් සඳහන් කළාය.

ආපදා තත්ත්වයෙන් පසු ගොවීන් නැවත වගා කටයුතු ආරම්භ කරමින් සිටින බවත්, ඔවුන්ට සහාය වීම සඳහා දැනටමත් රජය පියවර ගෙන ඇති බවත් අග්‍රාමිත්‍යතුමිය පැවසුවාය.

සියලුම පුරවැසියන් ඇතුළත් වන සහ ඔවුන්ට සමාන අවස්ථා ලැබෙන බව සහතික කිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ මහ කොමසාරිස්වරිය, පරිවර්තන සහ සන්නිවේදන කටයුතු සඳහා කෘතිම බුද්ධි මෙවලම්වල සහාය ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමත්, විශේෂයෙන් ගුරු හුවමාරු වැඩසටහන් සහ පවත්නා ශිෂ්‍ය සහයෝගීතා සමඟ දෙරටේ සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී නව කොමසාරිස්වරියගේ අවධානයට යොමු කළ අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් සංවිධානය (COL) සමඟ ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළා ය.

කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන උපදේශක (දේශපාලන හා වෙළඳ) Patrick Pickering සහ සහයෝගිතා පිළිබඳ ප්‍රධානී Kiril Iordanov සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය සහ උතුරු ඇමරිකාව අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ කසකස්ථාන් ජනරජයේ තානාපති Sergey Viktorov මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් දෙසැම්බර් 15 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම සහ ආපදාවට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග කෙරෙහි මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.

අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, නිවාස සහ කෘෂිකාර්මික ජීවනෝපායන් නැවත ගොඩනැඟීම ඇතුළුව රට නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී රජයේ කාර්යභාර්යය අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කළ අතර ඒ සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දෙන ලද සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳ ව ද තවදුරටත් පැහැදිළි කළාය.

ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර ආයෝජන වැඩි කිරීම සහ කසකස්ථානයෙන් පැමිණෙන සංචාරක පිරිස වැඩි කිරීම සහ ආර්ථික කටයුතු ශක්තිමත් කර ගැනීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු විය.

කසකස්ථාන් ජනරජයේ ⁣ තානාපති කාර්යාලය නියෝජනය කරමින් දූත මණ්ඩල ප්‍රධානී Rustem Jamankulov, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අග්නිදිග සහ මධ්‍යම ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් චමරි රොද්‍රිගෝ සහ අධ්‍යක්ෂ ඉරෝෂා කුරේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රාජ්‍ය මැදිහත්වීමෙන් අධ්‍යාපනය ලබන සහ ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් ඉටු කල යුතු වගකීමක් තිබෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ නව වෙනි අදියර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 14 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

මෙම අදියරට අදාළ ව 2023 සහ 2024 වර්ෂයන්හි අ.පො.ස උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලැබූ බස්නාහිර පළාත් සිසුහු ඇගැයීමට ලක් කෙරුණු අතර ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ටයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් ජනාධිපති අරමුදල මගින් රුපියල් මිලියන 36.1 ක ශිෂ්‍යත්ව පිරිනමනු ලැබිණි.

උත්සව අවස්ථාව අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ජනාධිපති අරමුදල යනු ජනතාවගේ අරමුදලක් වන බවත්, එය ජනතාවට අයිති අරමුදලක් ලෙස දැනෙන්න වැඩ කටයුතු කිරීමට රජයක් ලෙස විශේෂ උත්සාහයක් ගත් බවත් පැවසුවා ය.

මෙතෙක් විශේෂ බලයක්, තනතුරක් දරන අයට පමණක් ප්‍රතිලාභ ලබා ගැනීමට පහසුවක් ව තිබූ, සාමාන්‍ය ජනතාවට ලංවීමට දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවලියක්ව තිබූ ජනාධිපති අරමුදල මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ හා තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා අයදුම් කිරීමට හැකි සරල ක්‍රමවේදයකට ගෙන ඒමට අප රජය සමත්ව තිබෙනවා.

මේ සියලු වැඩසටහන් අපි සිදු කරන්නේ අපේ මානව සම්පත වර්තමාන ලෝකයට ගැළපෙන අයුරින් දියුණු කරගෙන ඉදිරි ගමනක් යන්න. වර්තමාන ලෝකයේ තියෙන සංකීර්ණත්වය තේරුම් ගෙන ගමන් කළ හැකි මානව සම්පතතක් බිහි කරන්න රජයක් විදිහට අපි කටයුතු කරනවා.

ඒ සඳහා තමයි 2026 වසරේ සිට අපි අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් ඇති කරන්න විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙන්නේ. අපේ අරමුණ ඵලදායි හොඳ පුරවැසියෙක් බිහි කරන එක.

අපට අවශ්‍ය වන්නේ පරිසරයට ආදරය කරන, පරිසරය ආරක්ෂා කරන්න ඉදිරිපත් වන, නායකත්වයක් ඇති, සහකම්පනයෙන් සහ සාමූහිකත්වය පිළිබඳ හැඟීමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන වගකීම් සහගත මානව සම්පතක් බිහි කරන එක.

සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා. ඒ මැදිහත් වෙලා තියෙන්නේ මේ රටේ සියලුම ජනතාවගේ බදු මුදල්වලින්. ඒ සමාජය වෙනුවෙන් මෙහෙවරක් කරන්න පුළුවන්, නායකත්වය දෙන්න පුළුවන් දක්ෂයින් පිරිසක් නිසා තමයි ඔබ අපට විශේෂයෙන්ම වටින්නේ.

අද දින මේ සිදු කරන ඇගයීම අපි ඔබට කරන ආයෝජනයක්. රාජ්‍ය මැදිහත්වීමකින් අධ්‍යාපනය ලබන සහ රාජ්‍ය මැදිහත්වීමකින් ඇගයීමට ලක් වන ඔබට සමාජය වෙනුවෙන් වගකීමක් තියෙනවා” යැයි පැවසුවා ය.

මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා,

හෘදයාබාධ වැනි දරුණු රෝග තත්ත්වයන් වෙනුවෙන් මුදල් ආධාර ලබාගත හැකි අරමුදලක් ලෙස ජනතාව අතර ප්‍රචලිතව තිබූ ජනාධිපති අරමුදල නව ආණ්ඩුව යටතේ භාවිත කිරීමේ විෂය පථය පුළුල් කර ඇති අතර, අධ්‍යාපනය එහිදී විශේෂ ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කිසිවෙකුත් අත් නොහැරීම (Inclusivity) යන රජයේ දැක්ම හා ජනාධිපති අරමුදල එකට බැඳී පවතින බවත් ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි මහතා, චන්දිම හෙට්ටිආරච්චි මහතා, ලුතිනන් කොමාන්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති අරමුදලේ පාලන මණ්ඩලයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇගයීමට ලක් වූ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන්, භාරකරුවන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපනය මේ මොහොතේ දරුවන්ට බරක් නොවිය යුතුයි, ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දෙන්න. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය දරුවන්ට බරක් නොවිය යුතු බවත්, මේ මොහොතේ ඔවුන්ගේ මනෝ සමාජීය යහපැවැත්මට ප්‍රමුඛතාව දිය යුතු බවත්, ඒ තුළින් ආපදා අවස්ථාවලදී එකිනෙකා පිළිබඳ සහකම්පනය සහිත සුවපත් පාසල් පරිසරයක් ගොඩනඟා ගැනීමට හැකි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සහ පාසල් නැවත ආරම්භ කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දෙසැම්බර් 13 වෙනිදා නුවරඑළිය නගර සභාවේ “සෙනිසිටා” ශාලාවේ දී නුවරඑළිය දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාව අමතමිනි.

දිවයිනේ පාසල් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ ද ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අදාළ පළාත් සහ දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

අවධානම් ප්‍රදේශවල පිහිටා ඇති පාසල් ආරම්භ කිරීමට පෙර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලබා ගත යුතු බවත්, ප්‍රවේශ මාර්ග සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු බවත් පැවසූ එතුමිය දුෂ්කරතාවලට මුහුණ දුන් ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇඳුමක් පැළදීමේ අවස්ථාව ලබා දිය යුතු බව ද සඳහන් කළා ය.

කුමන බාධක මධ්‍යයේ වුවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත්, ඊට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පුහුණු කිරිමේ කටයුතු 51% කින් අවසන් බවත් දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරින් විසින් ප්‍රකාශ කළ අතර, අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ආපදා තත්ත්වයෙන් පසුව රට පෙරටත් වඩා ඉදිරියට ගෙන යාමට නම් සියලු දෙනා එක්ව අභියෝග ජය ගත යුතු බවයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලේයි චෙල්වි, අනුෂ්කා තිලකරත්න, යන මහත්ම මහත්මින් ඇතුළු මහජන නියෝජිතයන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරින් සහභාගී වී සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍යය අංශය

අග්‍රාමාත්‍යවරිය ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා සමඟ අධ්‍යාපන හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක

පුරවැසිභාවය, ආචාර ධර්ම සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය සහ ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ සහකාර අමාත්‍යවරයා වන Julian Hill මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් 2025 දෙසැම්බර් 10 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

මෑතක දී මුළු දිවයිනට ම බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව, මානුෂීය ආධාර සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ඕස්ට්‍රේලියානු රජය විසින් පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන 3.5 ක මූල්‍යමය දායකත්වය සඳහා අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළා ය. දැනට අතුරුදහන් වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බවත්, නැවත පදිංචි කිරීම, නැවත ස්ථානගත කිරීම සහ නැවත ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් රට යථා තත්ත්වයට පත්වීමේ ඊළඟ අදියර ආරම්භ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

අධ්‍යාපන ක්ෂේත්‍රය, ද්විපාර්ශ්වික සබඳතා, සංවර්ධන සහයෝගීතාව, ආර්ථික හා වෙළඳ සබඳතා, සංචාරක, ආයෝජන අවස්ථා සහ කලාපීය සහයෝගීතාව කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. අධ්‍යාපනය සඳහා ආධාර ලබා දීම, උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සහ ඕස්ට්‍රේලියානු රජය විසින් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඕස්ට්‍රේලියනු රජය විසින් ලබා දී ඇති දිගුකාලීන සහයෝගීතාවය අග්‍රාමාත්‍යවරිය විසින් පැසසුමට ලක් කරන ලදී.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස අවධාරණය කළහ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රමුඛතා සහ පුළුල් සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස සිය සහාය ලබා දීමට කටයුතු කරන බව ඔවුහු තවදුරටත් සඳහන් කළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Matthew Duckworth, පළමු සහකාර ලේකම් Karen Ann Sandercock, කාර්ය මණ්ඩල ප්‍රධානී Cameron Geoffrey Green, කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් Ruth Baird සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) අප්සරා කල්දේරා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය