අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරීන් රජයේ පුරප්පාඩු සඳහා බඳවා ගන්නවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රාජ්‍ය සේවා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව, විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරීන් ඉදිරියේදී බඳවා ගැනීම සිදු කරනු ලබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

වර්තමාන ශ්‍රී ලංකාවේ රැකියා විරහිත පිරිස තුන් ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකයි. රැකියා විරහිතභාවය අවම කිරීම සඳහා රජය විසින් කෙටි කාලීන, මාධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් පියවර ගණනාවක් ගෙන තිබෙනවා.

ඒ අනුව සාර්ව ආර්ථික ඉලක්කයක් ලෙස ඉදිරි වසර කීපය තුළ, ප්‍රතිශතාත්මක ඉලක්ක ලෙස 2025 වසරේදී 4.4% කින් ද 2026 සහ 2027 වසරවල දී 4.2% කින් ද රැකියා විරහිතභාවය අවම කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.

වර්තමාන රජය විසින් උපාධිධාරීන් 35 000-40 000 පමණ ප්‍රමාණයකට රැකියා ලබා දීමට ඉදිරි සැලැස්මක් සකස් කර ඒ අනුව රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇති තනතුරු සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ සහ කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ බඳවා ගැනීමේ කටයුතු සිදු කරනු ලබනවා.

දැනට කාර්ය මණ්ඩල කළමනාකරණ කමිටුව මඟින් 12 309ක ප්‍රමාණයක් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. එම බඳවා ගැනීම් බඳවා ගැනීමේ පටිපාටියට අනුව අමාත්‍යාංශ මට්ටමින් සිදුකෙරෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 - I (අ) ශ්‍රේණියට උපාධිධාරීන් 25 000 ක් බඳවාගැනීම පිළිබඳව අභියාචනාධිකරණයේ පැවති නඩුවේ අවසන් තීන්දුව නිල වශයෙන් ලබා දුන් වහාම එම බඳවා ගැනීම් කටයුතු සිදු කිරීමට පියවර ගන්නවා. ඒ අනුව උපාධිධාරීන් 37000 කට පමණ රැකියා ලබා දීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු අවම මුදල 6%ක් කියන එක ජාත්‍යන්තර නිර්ණායකයක් - ​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​විපක්ෂය මතුකරන 6% කාරණයේ තර්කයක් පේන්න නෑ

​අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු අවම මුදල 6%ක් යනු ජාත්‍යන්තර නිර්ණායකයක් බවත්, විපක්ෂය මතුකරන 6% පිළිබඳ කාරණයේ තර්කයක් පේන්න නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​විපක්ෂය මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අද (නොවැම්බර් 26) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

​එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය:

​6%ක අරගලය වෙනුවෙන් අපි එදත් පෙනී සිටියා, අදත් පෙනී ඉන්නවා. සියයට හය කියන්නේ ජාත්‍යන්තර නිර්ණායකයක්. ඒක යුනෙස්කෝ සංවිධානය විසින් දීලා තියෙන නිර්ණායකයක්.

​ඒක මං හිතන්නේ අපි විතරක් නෙවෙයි; විශ්ව විද්‍යාල ආචාර්ය සමිතිය විතරක් නෙවෙයි. සමස්ත රටම සහ ජාත්‍යන්තරයත් පෙනී ඉන්න නිර්ණායකයක්. ඒක වෙනුවෙන් අපේ රටේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරවත් අරගල තියෙනවා.

​ඒ අරගලය අපි ආරම්භ කළේ 2011 වසරේදී. 2011 සිට 2024 දක්වා ආණ්ඩු පාලනය කළේත්, අධ්‍යාපනයට මුදල් වෙන් කළේත් අපේ ආණ්ඩුවක් නෙවෙයි. දැන් මේකට එකඟයි කියන අය පාලනය කළ යුගයක් එදා තිබුණේ. එතකොට ඒ අයට ඔය සියයට හය අරගලයට මැදිහත් වෙන්නත් තිබුණා, නමුත් මැදිහත් වුණේ නැහැනේ. අපි ආණ්ඩුව භාර ගන්නකොට අධ්‍යාපනයට වෙන් වෙලා තිබුණේ සියයට එකයි දශම බිංදුවයි හතරක වගේ අගයක්. අපේ පළවෙනි අයවැයෙනුත් ඒක වැඩි කළා. දෙවැනි අයවැයෙනුත් ඒක වැඩි කරලා තියෙනවා. අපි පෙන්නුම් කරලා තියෙනවා අපි මේ දිශානතිය සියයට හය කියන ඉලක්කය දක්වා යන්න අපි වැඩ කරමින් ඉන්නේ.

​2011 සිට 2024 දක්වා පාලනය කරපු අය එතනට යන දිශානතිය නෙවෙයි, ඊටත් වඩා පහතට යන දිශානතියක ඉඳලා, දැන් අපි මේ වැඩි කරන දිශානතියට ආවම 6% දෙන්නේ නැත්තේ ඇයි කියලා අහනවා.

​විපක්ෂය මතුකරන 6% කාරණයේ තර්කයක් මට පේන්නේ නෑ. ඒ නිසා අපි ඉන්න ස්ථානය ඉතාමත්ම පැහැදිලියි.

අපි වචනවලින් නෙවෙයි, ක්‍රියාවෙන් පෙන්නුම් කරලා තියෙනවා අපි අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් දෙන බව සහ මුදල් ක්‍රමිකව වෙන් කරනවා කියන එක. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් තියෙනවා සියයට හය දක්වා ක්‍රමිකව අපි යන්න සැලසුම් කරගෙන තියෙනවා කියලා. ඒක තමයි අපි කරන්නේ.

​ඒ වගේම, ජාතික පාසල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර අතිරික්තයක් නොමැති අතර, කම්කරුවන්ගේ සේවය හැරයාම, ශ්‍රේණි උසස් වීම්, විශ්‍රාමයාම වැනි හේතූන් මත පළාත් පාසල්වල හා ජාතික පාසල්වල කම්කරු පුරප්පාඩු පවතිනවා.

​දැනට ජාතික පාසල්වල හා පළාත් පාසල්වල පවතින කණිෂ්ඨ කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදුකළ පසු, ඌනතා ඇති පාසල් සඳහා ස්ථානගත කිරීම සිදු කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා - අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2025 වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කරන්නත්, සැළසුම් සකස් කරන්නත් ආයතනික ව්‍යුහයන් ගොඩනගන්නත් අපිට හැකි වුණා.

මුදල් වෙන් කළා කියලා සියල්ල සිදු වෙන්නේ නැහැ. ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති, සැළසුමකට අනුව ක්‍රියාත්මක කළ යුතුයි

අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත්, 2025 වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමටත්, සැළසුම් සකස් කිරීමටත්, ආයතනික ව්‍යුහයන් ගොඩනැගීමටත් හැකි වු අතර මුදල් වෙන් කළ පමණින් සියල්ල සිදු නොවන බැවින් ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති සැළසුමකට අනුව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වැයශීර්ෂය පිලිබඳ විවාදයේ අදහස් දක්වමින් අද (25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

ගුණාත්මක අධ්‍යාපනයක් රටක් තුල ඇති කරන්න නම් අධ්‍යාපනය පිළිබඳ තිරණ, ප්‍රතිපත්ති මත ගත යුතුයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ශක්තිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි. මේ දෙකම කරන්න නම් මුදලි තිබිය යුතුයි. අපේ රටේ ඉතිහාසය පුරාම මේ අංශ තුන හරියට සිදු නොවීම නිසා තමයි අද අපිට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල ගැටළු ගණනාවක් මතුව තිබෙන්නේ. මේ සියලු ගැටළු තිබියදී ගරුවරු, විදුහල්පතිවරු, නිලධාරීන් අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවය නිසා අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම පවත්වාගෙන යන්න හැකි වෙලා තිබෙනවා.

අපි 2025 වසර තුළ සිදුකළ ප්‍රධානම දේ තමයි අපේ අධ්‍යාපනය තුළ නිවැරදි තීන්දු තීරණ ගැනීම, අධ්‍යාපනයට අදාල ආයතන හදුනාගෙන පවතින ගැටළු නිසියාකාරව විසදමින්, ආයතනික ව්‍යුහයන් නිවැරදි කරමින්, ප්‍රතිපත්ති සමග ඒකාග්‍ර කරමින් මුදල් නිසියාකාරව, ප්‍රතිපත්ති අනුව වියදම් කරමින් 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කටයුතු කිරීමයි.

ප්‍රතිපත්ති හදන එකම නෙමෙයි ගුණාත්මක අධ්‍යාපනයක් ක්‍රියාත්මක කිරීමේදි අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හොඳ සැළැස්මක් අවශ්‍යයි. නිලධාරීන්ට හරි ඉලක්ක අවශ්‍යයි. වගකීම් හරියට බෙදා ගන්න ඕන. ඉතිහාසයේ පැවති ප්‍රතිපත්ති දිහා බැලුවම පාසල් තුළ විෂයමාලා වෙනස් කිරීමට පැවති යෝජනාවල ලොකු වෙනස්කම් සිදුවෙලා නැහැ. නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සැළසුම්කරණයත්, ආයතනින ව්‍යුහයත්, මුදල් වෙන් කිරීමත් නිසියාකාරව සිදු නොවීමයි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවෙන්න හේතු වෙලා තිබෙන්නේ.

2025 තුළ අන්න ඒ ප්‍රශ්න විසදන්න සාධනීය පියවරයන් කිහිපයක් ගන්න අපිට හැකි වුණා. ඒ වෙනුවෙන් ආයතනික පද්ධතියක් ගොඩනගන්න අපිට හැකි වුණා. අධ්‍යාපන අමාත්‍යංශය ගන්න තීන්දු තීරණ වෙනුවෙන් අවධානය යොමු කළ මූලික අංශ හතරක් තිබෙනවා. ඒ තමයි, සමානාත්මතාවය තුලින් අධ්‍යාපන විෂමතා අවම කිරීම, ගුණාත්මකභාවය වැඩිකිරීම, ආණ්ඩුරණය සහ දත්ත සහ විද්‍යාත්මක සාධක මත ප්‍රතිපත්ති සකස් කිරීම කියන අංශ. මම සතුටට පත්වෙනවා මේ අංශ හතර මත ප්‍රතිපත්ති සකස් කරන්නත්, සැළසුම් සකස් කරන්නත්, ආයතනික ව්‍යුහයන් ගොඩනගන්නත් අපිට හැකිවීම ගැන.

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ගැටළුව පිළිබඳ අපි පත්කළ කමිටුවක් මගින් නිකුත්කළ වාර්තාවේ දැක්වෙනවා, පසුගිය කාලයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොතරම් දුරට කඩා වැට්ලා තිබුණද කියලා, තිබිය යුතු මූලධර්ම සහ ප්‍රතිපත්ති වෙනුවට අතිශයින් පෞද්ගලික හේතු සහ දේශපාලන අරමුණු මත තීන්දු තීරණ ගත් නිසා ඒ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය කඩා වැටීම සහ දරුවන්ට කර තිබෙන අසාධාරණය ඒ වාර්තාවෙන් පැහඅදිලි වෙනවා.

නිසි සැළසුම්කරණයක් නොමැති නිසාත්, ආයතනික ව්‍යුහයන් වල දුර්වලතා නිසාත්, මෙන්න මේ විදිහට අධ්‍යාපනයට අදාල සියලු ආයතන කඩාවැටිලා තිබුණා. 2025 වසර තුළ අපිට ඒ තත්වය නිවැරදි තැනකට ගේන්න හැකියාව ලැබුණා.

වසර ගණනාවකට පස්සේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ඒ බිලියන 7.04ක්. ඒක දළ දේශිය නිෂ්පාදනයෙන් 2.04%ක්. අපි කොතනකවත් කිව්වේ නැහැ පළමු වසර තුළ 6%ක් වෙන් කරනවා කියලා. අපි දන්නවා ප්‍රතිපත්ති හදමින්, ආයතන ශක්තිමත් කරමින් තමයි එතනට යන්න පුළුවන්. මුදල් වෙන් කළා කියලා සියල්ල සිදු වෙන්නේ නැහැ. ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් මුදල් වෙන් කරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මිලියන තුන් දහසක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි අපි මේ කටයුතු සිදු කරගෙන යන්නේ. 2025 අධ්‍යාපන අමාත්‍යංශය කළ වියදම පිළිබඳ මෙහිදී කතා කළා. අප්‍රේල් මාසේ අග තමයි අපේ අයවැය සම්මත වුණේ. මුදල් වියදම් කරන්න පටන්ගත්තේ මැයි මාසේ ඉදලා. ඒ අනුව අපේ මුල්‍ය ප්‍රගතිය 18%ක්. දෙසැම්බර් වනවිට අපේ ප්‍රගතිය 69%යි. මේ තරම් කාර්යක්ෂමතාවයක් මීට පෙර අධ්‍යාපනය වෙනුවෙන් පෙන්නුම් කර නැහැ. මේ ප්‍රගතිය අත්කර ගත්තේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට ඉලක්ක ලබා දීලා. අධීක්ෂණය කරලා. 2026 සහ 2027 වනවිට මීට වඩා ප්‍රගතියක් අපිට අත් කර ගන්න පුළුවන්.

අභියෝග තියනවා, දුර්වලතා බොහොමයක් තියන ක්ෂේත්‍රයක් අපි දියුණු කරමින් යන්නේ. තවත් කාර්යක්ෂමතාව වැඩි වෙන්න ඕන, පාසලක, විශ්වවිද්‍යාලයක ප්‍රශ්නයක් මතු වුණාම කාර්යක්ෂමව අවධානය යොමු කරන්න අවශයයි. පවතින සීමා අවම කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. අභියෝග භාර ගෙන ප්‍රතිපත්ති සකස් කරමින්, සැළසුම් සකස් කරමින් පියවරෙන් පියවර ඉදිරියට යන ගමනක් බව ද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

තීරණාත්මක වයස් කාණ්ඩයක සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් විධිමත් පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන් යුතු රජයේ ලියාපදිංචි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හරහා මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂය මාලා රාමුවට අදාළව ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික් නියෝජනය කරමින් විශ්ව පෙරපාසල් ගුරු සංගමයේ සාමාජිකාවන් සමග නොවැම්බර් 24 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා සුදුසුකම් ලත් පුහුණු කරුවන් තෝරා ගැනීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම, පෙරපාසල් ගුරුවරුන්ට දීමනා සහ දායකත්ව විශ්‍රාම වැටුපක් ලබා දීම වෙනුවෙන් මුදල් කොමිසම සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු විය.

පෙර පාසල් නියාමනය කිරීම සහ රජයේ ලියාපදිංචි පෙර පාසල් හරහා දරුවන්ට විධිමත් මුල් ළමාවිය අධ්‍යාපනයක් ලබා දීමෙි වැදගත්කම හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා රජය සහ පෙරපාසල් අතර විධිමත් සම්බන්ධිකරණයක් සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික විෂයමාලා රාමුවට අනුකූළව විෂය මාලාවක් සකස් කිරීම, පෙර පාසල් යටිතල පහසුකම් දියුණු කිරීම, පෙර පාසල් ගුරුවරුන් මුහුණ දෙන ගැටළු හා පෙරපාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආසියානු ඵලදායිතා සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගන්වයි.

කොළඹදී පැවති ආසියානු ඵලදායිතා සංවිධානය සහ කොරියානු සංවර්ධන ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම සහ ඵලදායිතා විශේෂඥයින් සඳහා වන ප්‍රතීතන සහතිකය ප්‍රකාශයට පත් කිරීමට සමගාමීව, නොවැම්බර් 20 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත ශ්‍රී ලංකාව සඳහා වන ජාතික ඵලදායිතා ඉදිරි සැලැස්ම පිළිගන්වන ලදී.

මෙම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍රයන් වන, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතරම, ශ්‍රී ලංකාවේ ජාතික ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා නිර්දේශ ලබා දේ. එමෙන්ම මෙම සැලැස්ම මගින් කර්මාන්තවල ඵලදායිතාව වැඩි දියුණු කිරීම මෙන්ම කෙටි කාලීනව පෝෂණය කළ හැකි නව කර්මාන්ත සංවර්ධනයට සහාය වන ප්‍රතිපත්ති යෝජනා ද ඉදිරිපත් කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ආසියානු ඵලදායිතා සංවිධානයේ අඛණ්ඩ සහයෝගය අගය කළ අතර, දේශීය වෙළඳපොළ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම ගෝලීය වේදිකාව සඳහා උපායමාර්ගික පිවිසුම් මාර්ග හඳුනා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළාය.

එමෙන්ම නැගී එන උපායමාර්ගික ප්‍රවේශ මාර්ගයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සඳහා අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී එහි පුළුල් කාර්යභාරය පිළිබඳවද පැහැදිලි කළා ය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් ආචාර්ය Indra Pradana Singawinata; ආසියානු ඵලදායිතා සංවිධානයේ ඉරාන අංශයේ ප්‍රධානී Arsyoni Buana මහතා සහ කොරියානු සංවර්ධන ආයතනයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගීවූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්

2025 නොවැම්බර් 20 වන දින, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේ දී තානාපතිනි Julie Jiyoon Chung මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කළ අතර, ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් අවධාරණය කළා ය.

ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කරගනිමින් සිදු කරනු ලබන එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, රටවල් 160 කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයනය කටයුතු, ඉගැන්වීම්, පර්යේෂණ, අදහස් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙයි.

විභාග පාදක පද්ධතියකින් සහයෝගී ඉගෙනුම් ඉගැන්වීම් පරිසරයක් ගොඩ නැඟීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන ක්ෂේත්‍රයන්හි තාක්ෂණික විශේෂඥතා සහාය වැඩි කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රටේ මානව සංවර්ධන ප්‍රමුඛතා සමඟ සමපාත වන විද්වතුන් බිහි කිරීමේ වැදගත්කම ද අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිසට මහජන කටයුතු නිලධාරි Menaka Nayyar මහත්මිය, ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය Patrick McNamara; සහ ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාවය සහ SGBV සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නවක වදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රභා මනුරත්න ඇතුළත් වූ අතර ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය ඇතුළත් විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය