අනුකරණවාදී ලෝකයට පිවිසෙන ඉදිරිය නොදැක්ක සමාජයකට සැබෑ මග පෙන්වාදෙමින් රටේ සංවර්ධනය හා යුක්තිය වෙනුවෙන් ගමන් කිරීම මාදුළුවාවේ සෝභිත හිමි දර්ශනයයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අනුකරණවාදී ලෝකයට පිවිසෙන, ඉදිරිය නොදැක්ක සමාජයකට සැබෑ මග පෙන්වාදෙමින් රටේ සංවර්ධනය හා යුක්තිය වෙනුවෙන් ගමන් කිරීම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දර්ශනය අදට ගැලපෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සත්වැනි ගුණානුස්මරණය වෙනුවෙන් 2022.11.08 දින කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ සංවිධානය කර තිබූ ප්‍රජා සත්කාරක වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මාදුළුවාවේ සෝභිත හිමියන් ජාතිය සහ සම්බුද්ධ ශාසනය අවදි කළ බුද්ධ වචනය රට පුරා ගෙනයාමේ මහ සඟරුවනේ පුරෝගාමී හිමිනමක් බවත් ජාතියට අවශ්‍ය අවස්ථාවකදී ජාතියේ හඬ නගන්නට මහා සඟරුවන සමග රටට අවශ්‍ය නායකත්වය සැමවිටම ලබා දුන් බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විවිධ අවස්ථා ගැන වෙන වෙනම සඳහන් කරන්න උත්සාහ නොදැරුවත් රටේ ඉතිහාසය පුරා විවිධ ගැටළු සහ අස්ථාවර භාවයක් ඇති වන විට මහා සඟරුවන අපේ රට රැක්කා. රටට මහා සංඝ පීතෘවරු නායකත්වය දුන්නා. උන්වහන්සේලාගේ නායකත්වය උපදෙස් අනුශාසනා වලට පාලකයන්ට සවන් දෙන්නට සිදුවුණා. මුළු සමාජයටත් ඊට සවන් දෙන්නට සිද්ධ වුණා. එවන් ඉතිහාසයක උරුමය ඉදිරියට ගෙන යන්න මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ මගපෙන්වීමක් ඇති කළා.

රජය වෙනුවෙන් මෙම අවස්ථාවේදී උන්වහන්සේට ගෞරවය කෘතවේදීත්වය පුදකරනවා. මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ බුදු සසුන බැබළවීමට අප රට තුළ පමණක් නොව දේශ දේශාන්තර හරහා ගමන් කළ කර්තව්‍යයක් වෙනුවෙන් අතිශයින් කැප වුණා. උන්වහන්සේගේ පරාර්ථකාමීත්වය රටපුරා හැම ගම් නියම් ගමක් කරා ගමන් කළ වග අපි දන්නවා. විවිධ අවස්ථාවල උන්වහන්සේටත් මටත් මුහුණදෙන්නට සිදුවුණු ගැටලු පිළිබඳව මේ අවස්ථාවේදි සඳහන් කෙරුණා. බියක් නොදක්වා සත්‍ය වෙනුවෙන්ම පෙනී සිටි එඩිතර බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හැටියට ජාතියට යම් දර්ශනයක් එක්කළා. එවන් ආදර්ශයන්ගෙන් යුතුව අද සමාජය මුණදෙන්නට සිදු වී තිබෙන ගැටළු හරහා වඩාත් විශ්වාසනීය අනාගතයක් ගොඩ නැගීය යුතුයි.

අනුකරණවාදී ලෝකයට පිවිසෙන ඉදිරිය නොදැක්ක සමාජයකට අනුකරණ වාදයෙන් ඉවත් වී සැබෑ මග හරහා රටේ සංවර්ධනය හා යුක්තිය සඳහා ගමන් කරමු යන්න උන්වන්සේ නිතර දෙවේලේ සඳහන් කළ දෙයයි. ඒ දෙය යළි සිහිපත් කල යුතුයි.

මෙම වැඩසටහනට සමගාමීව ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක්, විශේෂ වෛද්‍ය සායනයක්, දන්ත වෛද්‍ය සායනයක්, ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහනක් සහ පිළිකා පරීක්ෂා සායනයක්,මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක්, ජලභීතිකා එන්නත් සායනයක් මෙන්ම මව්වරුන් සඳහා පෝෂණ මළු බෙදාදීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබිණි.

පූජ්‍ය මල්වානේ පඤ්ඤානන්ද හිමි, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමි, පූජ්‍ය කොටහේනේ නාරද හිමි ඇතුළු මහා සඟරුවන, අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී.ප්‍රේමලාල්, අතුළු මහජන නියෝජිතයින්, හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා ඇතුළු දායකකාරකාදීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.