‘‘දහසකුත් අඩුපාඩු හා අපහසුතා මැද නිර්මාණකරණ අරගලයේ යෙදෙන කලාකරුවන්ගේ ගැටලු පියවරෙන් පියවර විසඳීමේ ඉලක්ක කරා යමු."

නිදහස් කලා සන්ධානයේ කලාකරුවන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් අතර සාකච්ඡාවක් 2022.08.04 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
ශ්‍රියන්ත මෙන්ඩිස්, සුදත් රෝහණ, ඩග්ලස් සිරිවර්ධන, මෙලනි අශෝකා, සරත්චන්ද්‍ර මුතුබණ්ඩා, ආනන්ද විරසිරි ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්විය.
වර්තමානයේ බිහිවන ටෙලිනාට්‍ය නියාමනය කරමින් ප්‍රේකෂකයාට නිර්මාණාත්මක ටෙලිනාට්‍ය රසවින්දනය කිරීමට අවස්ථාව උදා කරමින් ජාතික සංස්කෘතික නියාමන මණ්ඩලයක් ඇතිකිරීම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය මගින් වෙළඳ පොල ඉලක්ක කර ගනිමින් සිදුකරන අර්ථවිරහිත නිර්මාණ ප්‍රචාරණය නියාමණය කරමින් යම් ප්‍රමිතිකරණයක් ඇති කිරීමත් මෙන්ම ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් සැකසීම නියාමණය කිරීමත් කාලීන අවශ්‍යතාවක් ව ඇති බව කලාකරුවන් මෙහිදී පැවසීය.
වේදිකා නාට්‍ය කලාව කඩාවැටීම තුළ සුභාවිත චින්තනයන් හා හරවත් මතවාද අලුත් පරපුරෙන් ගිලිහී යන බැවින් ඒ සඳහා වූ වැඩපිළිවෙළකටයා යුතු බව කතිකා විය. විශ්වවිද්‍යාල තුළ නාට්‍ය වේදිකාගත කිරීම, මධ්‍ය විද්‍යාල හා පළාත් සභා පාසල් තුළ දැනට ඇති රඟහල් භාවිතා කරමින් නැවත වේදිකා නාට්‍ය කළ යුතු බවද අවධාරණය විය. එසේම චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිර්මාණයේ දී පසුතල සඳහා භාවිතා කරන ගාලු කොටුව, දියත උයන, කොටුව දුම්රිය ස්ථානය වැනි තවත් බොහෝ ස්ථාන අධික මුදල් අය කරන බැවින් දේශීය නිර්මාණකරුවන් සඳහා ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙස නිර්මාණවේදීන් ඉල්ලා සිටියේය.
දේශිය හරවත් නිර්මාණ සඳහා ජාත්‍යන්තරය තුළ ඉඩ හසර ලබා දීමට තානාපති කාර්යාල හරහා යම් වැඩපිළිවෙළක් සකස් කිරීම සමබන්ධයෙන් කලාකරුවන් ඉදිරිපත් කල යෝජනාවට මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විශේෂ අවධානය යොමු විය.
රටට බරක් නොවී සිය නිර්මාණ මතම යැපෙමින් ජීවත්වන කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අරමුදල් සඳහා සෑම ටෙලි නාට්‍යයකින් සුලු බදු මුදලක්, විදේශිය ටෙලි නාට්‍යවලින් සැලකිය යුතු බදු මුදලක් අය කිරීම, නිර්මාණ සඳහා කුසලතා පූර්ණ විධිමත් හැදෑරීමක් සහිත කලාකරුවන් යොදා ගැනීම විශිෂ්ට නිර්මාණ බිහි වීමට ප්‍රධාන හේතුවක් වන බැවින් විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත සිනමා පාසලක් ඇතිකිරීම, කලාකරුවන් වෙනුවෙන් ලොතරැයියක් හඳුන්වාදීම, කලාකරු රක්ෂණාවරණය, පාසල් සහ විශ්ව විද්‍යාල දරුවන්ගේ රසවින්දන කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් රසවින්දන වැඩසටහන් පැවැත්වීම මෙන්ම, සිනමා කර්මාන්තයට සිදුව ඇති අගතිය සහ ඒ සඳහා රැඟුම් පාලක මණ්ඩලය හරහා රාජ්‍ය මැදිහත්වීමක් ලබා දීම ඇතුළු කලා ක්ෂේත්‍රයේ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කෙරිණ.
එසේම කලාකරුවන් සඳහා දැනට ලැබෙන විශ්‍රාම දීමනාව වැඩි කිරීම සහ රක්ෂණයක් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස කලාකරුවන් ඉල්ලා සිටියේය.
ජාතික සිත් පහන් කරමින් අනේකවිධ ගැහැට මැද ජනතාව වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවන්ගේ ගැටලු පියවරෙන් පියවර විසඳීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය. කලාකරුවන්ගේ දායකත්වය රටේ ඉදිරි යහපතට වැදගත් බවත්, කලාකරුවන්ගේ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවත් ⁣සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කලාකරුවන්ගේ සහය රට පත්ව ඇති තත්වයෙන් මුදා ගැනීම සඳහා ලබා දෙන ලෙසද මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට නිදහස් කලා සන්ධානයේ සභාපති ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, උප සභාපතිවරුන් වන ප්‍රවිණ රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්, චන්දන සමරකෝන්, ලේකම් මෙලනි අශෝකා භාණ්ඩාගාරික සමන්චන්ද්‍රරත්න යනමහත්වරුන් ඇතුළු ප්‍රවීන කලාකරුවන් රැසක් ⁣සහභාගී වූහ.