නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ක්ෂේත්‍ර කිහිපයකට ආධාර

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වු නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවට ක්ෂේත්‍රයන් ගණනාවකට සහය පල කිරීමට එකඟත්වය පල කළේය. අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා දෙරට අතර සබදතා වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර ගැන තානාපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වු අතර නවසීලන්තය ශ්‍රී ලංකාවට දිගටම කිරි නිෂ්පාදන එරටින් ආනයනය කිරීමට ණය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිය පල කළේය. පාසැල් දරුවන්ගේ පෝෂණය සදහා අත්‍යවශ්‍ය කිරි ලබා දීමට රජය ගෙන ඇති වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මෙම පියවර බෙහෙවින් උපකාරී වන බව අග්‍රාමාත්‍යවරයා ඇපල්ටන් මහතාට පෙන්වා දුන්නේය.
මුල්‍ය සහ ආර්ථිකය ප්‍රතිසංශෝධන සඳහා රජය ගෙන යන පියවර අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා විස්තර කළ අතර තදින් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නවසීලන්තයට තාක්ෂණ සහයෝගය ලබා දීමට හැකියාවක් තිබෙන බව තානාපතිවරයා පැවසීය. මෙයට සම්බන්ධ වැඩමුළුවක් නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය සහ ඇඩ්වොකාටා ( ADVOCATA) ආයතනයේ අනුග්‍රාහයෙන් ළඟදීම කොළඹදී පැවැත්වෙන බව ඇපල්ටන් මහතා පැවසීය.
එහිදී ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිපත්ති සංශෝධනය සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡා පැවැත්වෙන අතර එයට නවසීලන්ත විශේෂඥයකු වන එරටේ තැන්පත් බැංකුවේ හිටපු නියෝජ්‍ය ආණ්ඩුකාර ග්‍රාන්ට් ස්පෙන්සර් මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. සියරට දරුණු මුල්‍ය අවපාතයකට ලක් වු අවස්ථාවේදී රජයේ පාඩු ලබන ප්‍රධාන ආයතන ප්‍රතිව්‍යුහගත කළ අතර එයින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි වු බව නවසීලන්ත තානාපතිවරයා ප්‍රකාශ කළේය. එම අත්දැකීම් සම්බන්ධ තාක්ෂණ උපදෙස් ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇත.
අග්‍රාමාත්‍යවරයා මේ රටේ කිරි නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍රයන්හි නවසීලන්ත ආයෝජන වැඩිකරන ලෙස ඉල්ලා සිටි අතර තානාපතිවරයා ඒ සදහා ඉදිරි පියවර ගන්නා බව සනාථ කළේය.
මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද සහභාගී විය.