ක්‍රීඩාවේ ජයග්‍රහණය උදෙසා විවිධ ක්ෂේත්‍ර වල සැලසුම් නිර්මාණය කර එල්ලවන ප්‍රහාරයන්ට මුහුණදීමට සාර්ථකව නායකත්වය දෙන්නා සේම වත්මන් අර්බුදකාරී අවස්ථාවේදී රට වෙනුවෙන් එක්ව නැගීසිටීමට නායකත්වය දෙනවා.. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ක්‍රීඩාවේ ජයග්‍රහණය උදෙසා විවිධ ක්ෂේත්‍ර වල සැලසුම් නිර්මාණය කර එල්ලවන ප්‍රහාරයන්ට මුහුණදීමට සාර්ථකව නායකත්වය දෙන්නා සේම වත්මන් අර්බුදකාරී අවස්ථාවේදී රට වෙනුවෙන් එක්ව නැගීසිටීමට කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රීක් දිසාපති කුසලාන ක්‍රීඩා 2022 තරඟාවලියේ ජයග්‍රාහයකයින් සඳහා වර්ණ සහ ජය සංකේත ප්‍රදානය කිරීමේ වර්ණ රාත්‍රිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.12.02 දින මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේ දී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන නිලධාරීන්ගේ ක්‍රීඩා හැකියාවන් ඔප්නැංවීම, කාර්යාල නිලධාරීන් ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය නගාසිටුවීම, ඔවුන් අතර සුහදතාවය වර්ධනය කිරීම සහ නිරෝගී ජීවන රටාවකට ක්‍රීඩාවේ අගය ආදර්ශමත්ව සමාජගත කිරීමේ අරමුණෙන් දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලිය සංවිධානය කොට තිබිණී.

සහයෝගය උනන්දුව සහ සංවිධානාත්මක ස්වභාවය මත ක්‍රීඩික ක්‍රීඩිකාවන් ජයග්‍රහනය ලබන්නා සේ මහජනයාට සේවය සපයන ප්‍රධාන රාජ්‍ය සේවාවක් හැටියට කාර්යාල වල රාජකාරියේ නිරත වන්නන් මහජනයා සමඟ කටයුතු කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය.

සුහදතාවය, එක්ව කටයුතු කිරීම, ඉලක්කයකට විනයකට කටයුතු කිරීම මෙන්ම අලුත් නිර්මාණශීලී ක්‍රියාවන් වල යෙදීමට තිබෙන සීමා ඉසව්වල සම්මතයන් අනුව කොයිතරම් අත්දැකීම් සම්භාරයක් ජීවිතයට එකතුකරගන්නේද එතුලින් ඔබට පමණක් නොව රටට එක්වන දෑ බොහෝය.

විශේෂයෙන්ම රටේ දියුණුම දිස්ත්‍රික්කය, රටේ වස්තුව වැඩිම තිබෙන දිස්ත්‍රික්කය වඩාත්ම ඉහළ ජීවන තත්ත්වයකට පත්ව තිබෙන දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රීක්කයයි. අපේ රට ලොවට ගෙනගිය ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමට හැකිවීම හොඳ ආදර්ශයක්.

රජයට වියදම් කරන්න මුදල් නැහැ. වැය වැඩියි. අය අඩුයි. මේ රටම අද මුහුණ දී තිබෙන අභියෝගය අපි ජය ගත යුතුමයි. ඒ සඳහා වූ ගමනේ අමාරුම කාල පරිච්ඡේදයක දී දැරූ වෙහෙසට එක්ව අත්වැල් බැඳගත් සියලු දෙනාට මගේ ස්තූතිය හිමිවෙනවා.

ක්‍රීඩාව ඉවසීමක් නැත්නම් කරන්න බැහැ. ක්‍රීඩාවේ ජයග්‍රහණය උදෙසා විවිධ ක්ෂේත්‍ර වල සැලසුම් නිර්මාණය කර එල්ලවන ප්‍රහාරයන්ට මුහුණදීමට සාර්ථකව නායකත්වය දෙන්නා සේම වත්මන් අර්බුදකාරී අවස්ථාවේදී රට වෙනුවෙන් එක්ව නැගීසිටීමට නායකත්වය ලබා දීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රදීප් උදුගොඩ, යදාමිණි ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රීක් ලේකම් ප්‍රදීප් යසරත්න, අරවින්ද සිල්වා, චමින්ද වාස් ඇතුළු ක්‍රීඩකයින්, නිරන්ජලා සරෝජනී, රෝහණ බෝගොඩ ඇතුළු කලාකරුවන්, ප්‍රාදේශීය ලේකම්වරු, රාජ්‍ය නිළධාරීන් මෙන්ම වර්ණලාභී රැසක් සහභාගී වූහ.