දුම්රිය මාර්ගය දෙපස පවතින ඉඩම් වගාව සඳහා නිදහස් කරන්න.- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් උපදෙස්.

ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් වගා කළ හැකි රජයේ ඉඩම් නිදහස් කිරීමේ තීරණයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දෙයි.

දුම්රිය මාර්ගය දෙපස පවතින අත්‍යාවශය නොවන ඉඩම්ද කඩිනමින් වගාව සඳහා නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව 2022.12.01 දින මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන්‍ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

″මේ නියෝග කරන්නන් වාලේ කරපු නියෝගයක් ලෙස සලකන්න එපා. රටත් ජනතාවත් මේ අමාරු කාලයෙන් එහාට ගෙනියන්න වගා කරන්න අවශ්‍යයි. ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් සියළු දෙනා එක්වියයුතු කාලයයි මේ. අවමය ඉතිරිකර ඉතිරි ඉඩම් වගාවන් සඳහා නිදහස් කළ යුතුයි.″

චක්‍රලේඛ සහ අණපනත් වලට සම්පූර්ණයෙන්ම සීමා නොවී ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ කඩිනමින් මෙම ඉඩම් නිදහස් කිරීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ග්‍රාමීය පුනර්ජීවන කමිටු කවදුරටත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ප්‍රජා සංවිධාන නියෝජිතයින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට කැඳවීමෙන් රාජ්‍ය නිලධාරින් පමණක් සාකච්ඡා කිරීමෙන් ඇතිවන ගැටළු අවමකරගත හැකිව තිබේ.

‟අඩු ආදායම්ලාභීන් පිළිබඳ පැහැදිලි නිර්ණායක තිබිය යුතුයි. අඩු ආදායම්ලාභීන් සම්බන්ධයෙන් නිසි වාර්තා යැවීමෙන් ජාත්‍යන්තර ආධාර වැඩි වශයෙන් ලංකාවට ලබා ගත හැකිව තිබෙනවා. නමුත් තවමත් අපි ඒ පිළිබඳ නිසි වාර්තා ඉදිරිපත් නොකරන බවයි පෙනී යන්නේ.
පනතට අනුව සුභසාධක කටයුතු සඳහා නම් ලබා ගැනීමේදී නිලධාරීන් පෙරට වඩා සැලකිලිමත් විය යුතුයි. වෙනදා සිදු වූ අසාධාරණකම් සිදුවෙන්න බැහැ.″

වයස අවුරුදු පහට අඩු දරුවන් සහ ගැබිනි මවුවරුන්ගේ පෝෂණය පිළිබඳවද මේ අවස්ථාවේදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
විදුලිබල මණ්ඩලය සූර්ය පැනල සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවත් තවමත් ඒ පිළිබඳ යථාර්ථවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැතැයිද මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථායට මහජන නියෝජිතයින් මෙන්ම මහරගම ප්‍රාදේශීය ලේකම්
දිල්රුක්ශි වල්පොල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.