රටේ අර්බුධය විසදීමට ජනතාවගේ සහයෝගය ඉතාම වැදගත්- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ 2022.08.21 දින අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම පිරිවෙන, මානික්කාවත්ත ශ්‍රී විජයාරාමය හා රන්දෙව් විහාරස්ථානයන්ට පැමිණි අවස්ථාවේදීය.

එම විහාරස්ථානයන්හි පවත්වාගෙන යන දහම් පාසල් සඳහා සිය පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලින් ගුරු පුටු ලබාදීම එයට සමගාමීව සිදුවිය.

"විහාරස්ථාන මාත් සමග චිරාත් කාලයක සිට එක්ව කටයුතු කරනවා. අවශ්‍ය අවවාද අනුශාසනා ලබා දෙනවා. සැමදා අපගේ කටයුතු යහපත් අයුරින් ඉෂ්ඨසිද්ධ කර ගැනීමට මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපි බලාපොරොත්තු වෙනවා. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දරුණුතම කාලයකයි අපි ජීවත් වෙන්නේ. ඒ තත්ත්වයෙන් රට මුදා ගන්න අපි මේ වනවිට රජයක් ලෙස කටයුතු කරමින් යනවා. ඒ සඳහා ජනතාවගේ සහයෝගයත් ඉතා වැදගත්. පැවති අර්බුධ යම් පමණකට සමනය කරන්න අපිට මේ වන විට හැකිවෙලා තිබෙනවා. නමුත් තවත් රජයක් ලෙස රට වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග රාශියක් තිබෙනවා. ඒ සඳහා වන කටයුතු මේ වන විටත් සිදුකරමින් සිටින්නේ.

දහම් අධ්‍යාපනය ලබන දරුවන් රටට වැඩදායි විනය ගරුක පිරිසක් බවට පත්වෙනවා. බුද්ධ දේශනාව අනුව යමින් බුද්ධ දර්ශනයේ දැක්ම ජීවිතයට හුරු කර ගත්විට ජීවත් වීම වගේම ප්‍රශ්න වලට සාවධානව නිවැරදි පිළිතුරු සෙවීමට ශක්තිමත් මනසක් එතුළින් නිර්මාණය වෙනවා. දහම්පාසල් ආචාර්ය මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා එවැනි පිරිසක් රටට දායාද කරන්න ගන්නා උත්සාහයට.
සීතාවක පුරවරය ලංකා ඉතිහාසයේ නිදහස දිනාගැනීමේදීත්, ජාතික වශයෙන් වැදගත් වූ අවස්ථාවලදීත් කියැවෙන සේවාවක් ඉටුකළ පිරිසක් ජීවත් වූ පුරවරයක්. ශාසනික දියුණුව වෙනුවෙන් රජයක් ලෙස ලබා දියහැකි සහයෝගය ලබා දීමට අප සැමවිට සූදානම්"

මෙහිදී අනුශාසනා කළ පූජ්‍ය කුරුවිට රතනවංශ හිමි...
"එදා මේ ප්‍රදේශයට විදුලිය නෑ කිව්වම ඔබතුමා අපට විදුලිය ලබා දුන්නා. මේ ප්‍රදේශවල ජලය නෑ කිව්වම ජලය ලබා දුන්නා. එදා දුරකථන පහසුකම් පවා ලබා දුන්නා. මාර්ග පද්ධති යටිතල පහසුකම් ඔබතුමාට කියලා අපි ගොඩක් දේ කරගත්තා. ආණ්ඩු පක්ෂය හිටියත් විපක්ෂ හිටියත් ඇමැති වුණත් නැතත් ඔබතුමා ඒ සේවාවන් මේ ගම්වලට ඉටු කළා"

අනුශාසනා කළ දේවාලයකම සුමංගල හිමි ...
"ඔබතුමාගේ පරම්පරාවේ මුතුන් මිත්තන් දුන්න ඉඩම් වල තමා මේ බොහෝ අය ජීවත් වෙන්නේ. ඒ පරපුරේ අය රට වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කළා. ඒ පරපුරේ කෙනෙක් ලංකාවේ අගමැති ධූරයට පත්වීම මේ ප්‍රදේශයම ලැබූ භාග්‍යයක්."

අනුශාසනා කළ මාදන්වල ආනන්ද හිමි ...
"රට සමෘද්ධිමත් කිරීමට ගත හැකි යහපත් ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න. ජනතා විශ්වාසය දිනාගත් සීතාවක පුරවරයේ මහජන නියෝජිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය ධුරයකට හිමිකම් කීම පිලිබඳ පුරවරයේ පමණක් නොව සමස්ථ පලාතේම සතුටට හේතුවක්. ලද තනතුරින් මේ රටේ සුවහසක් ජනතාවට සෙතක් ඇතිවන පරිදි රට ඉදිරියට ගෙන යාමට යොදා ගන්න.

රන්දෙව් විහාරස්ථානාධිපති පූජ්‍ය මාදන්වල ආනන්ද හිමි, ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරාධිකාරි පූජ්‍ය දේවාලේගම සුමංගල හිමි, මාණික්කාවත්ත ශ්‍රී විජයාරාම විහාරාධිපති පූජ්‍ය ගෝනගල ජිනරත්න හිම, විහාරාධිකාරී පූජ්‍ය කුරුවිට රතනවංස හිමි යන ස්වාමීන් වහන්සේලාද මෙහි දී අනුශාසනා සිදු කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,සීතාවක ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ ඇතුළු සනී පිරිස්, සමන්ත ඉද්දගොඩ, අරුණ දිවිගල්ල, විමල් ප්‍රසන්න, යන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, සීතාවකපුර නගර සභා සභාපති රණවීර කුරුගලආරච්චි, යු.ඒ.එච්. උබේසිංහ, අජිත් සොයිසා, සිසිර ජයසිංහ ඇතුළු නාගරික මන්ත්‍රීවරු මෙම අවස්ථාවන්ට එක්විය.