ආණ්ඩුක්‍රම ව්‍යවස්තථාවේ නවවෙනි වගන්තියට කිසිදු හානියක් හෝ අත තැබීමක් කරන්නට ඉඩ තබන්නේ නැහැ. නව වෙනි වගන්තිය ආරක්ෂා කර තිබෙන්නේ මහ සඟරුවනේ දැවැන්ත ඉතිහාස ගමනක ප්‍රතිඵලයක් ලෙසයි. නොසෙල්වෙන මහා පර්වතයක් සේ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට ආණ්ඩු ක්‍රමයක එවැනි තැන්පත් කළ ශක්තිය අප ආරක්ෂා කර ගත යුතුයි. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2023.02.14 දින රත්නපුර කරන්ගොඩ සිද්ධාර්තෝදය පිරිවෙන් විහාරයේ පැවති අතිපූජ්‍ය කරන්ගොඩ සේනානන්ද නායක හිමියන්ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ දොළොස් වන ශ්‍රීමත් මහා නායක පදවි අක්කපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා-
අඛණ්ඩ නිදහස් සටනේ බෞද්ධ භික්ෂුවගේ චීවරයේ බලය ඉදිරියේ මහා අධිරාජයා ගේ කතිර කොඩිය බිම හෙළන්නට සිදු කළ නියෝගය ඔබ වහන්සේලාගේ බලයයි.
වාරියපොල හාමුදුරුවන් එසේ නියම කළේ ඒ පොරොන්දු පත්‍රය අනුවයි. පොරොන්දු පත්‍රය කඩ කළ විගසම සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවදි වුණු ක්‍රියාදාමය මේ අවස්ථාවේ මම සිහිපත් කරන්නට කැමතියි.

1815 මාර්තු දෙවැනි දා කියන්නේ ඒ ඓතිහාසික සන්නස්පත්‍රයේ උත්තරීතර අවස්ථාවයි. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට බිතාන්‍ය පාලක දණ ගැස්සූවේ අපේ මහා සංඝ පරම්පරාවයි. අද අපි සමරන්නේ ඒ අයගේ පාලන ත්‍රන්තයෙන් නිදහස් වී හැත්තෑ පස් වැනි වසරයි. පොත්ගුල් විහාරය සහ සමන් දේවාලයේ කියන්නේ වෙනම ඉතිහාස කතාවක්. අත් අකුරු කියවන්නට ලියන්නට කතා කරන්නට බැරි කාලයේ නිදහස් අධ්‍යාපනයේ ජයග්‍රහණය වෙනුවෙන් නායක හාමුදුරුවරුන් නායකත්වය දුන්නා.
මගේ ආදරණීය මව 56 මන්ත්‍රීවරිය හැටියට අපේ බොරලුගොඩ ප්‍රදේශයේ ගමේ පළවෙනි පාසල ආරම්භ කරා. ඒ ගමේ ඒ කාලේ පාසලක් තිබුණේ නැහැ. ලියන්න කියන්න උගන්වන්නට අවස්ථාව නොලැබුණු නිසා බොහෝ අයට ඉදිරියට යන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. එදා අපේ පළාතේ වෙනස්කම් ගණනාවකට පරිවර්තනය කරන්න පුළුවන් වුණු නායක පරම්පරාවක් අද දිනයේ ඔබ වහන්සේ බාර ගන්නවා. මේ මහා නායක ධුරය එසේ වඩ වඩාත් අපේ රටේ අභියෝගයන් ජය ජයගැනීමට එක්තැන් කර මගපෙන්වීමට ආශිර්වාදය දෙන්නට රටවැසි ජනතාවට ශක්තිය ලබා දෙවන්නට හැකි ධූරයක්.

වත්මන් මේ අභියෝග ජයගැනීම සඳහා බුදුන් වදාළ ධර්මය ගිහි සමාජයට වඩාත් හොඳින් අනුගමනය කළ හැකි සමාජයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයට ඔබවහන්සේ ලබාදී තිබෙන මඟ අති උතුම් කියන එක මම කියන්න කැමතියි.

වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් බුදුන් වදාළ ධර්මය තවමත් අහන්නට පින් තිබෙන අපි ඒ මඟ සකස් කර දෙන්නේ මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය.
පරම්පරාවෙන් පරම්පරාවට එමඟ එලෙස අපේ සමාජයට දායාද කරන මහ සඟරුවනට අපි උතුම්ම ගෞරවය මේ අවස්ථාවේදී පුදකරනවා. අද දින ඔබ වහන්සේ වෙත ප්‍රදානය කරනු ලැබූ මෙම මහනායක ධුරය ඔබ වහන්සේ තවදුරටත් සම්බුද්ධ ශාසනයටත් ජාතියටත් මඟ පෙන්වන්නට හැකි මාර්ගයට ශක්තිය ධෛර්යය නිරෝගි බව ලැබේවා. මේ රටේ අනාගතය එලෙස මග පෙන්වන සමාජයට ශක්තිය ලබා දීමට මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන අනුනායක ස්වාමීන් වහන්සේලා සැමට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව රටවැසියන් වන ඔබටත් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.