ලෝකයම බුදු දහම සොයන අවස්ථාවක අපේ නායක හිමිවරුන් ඉටු කරන කාර්යභාරය සුවිශේෂයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.04.08 දින ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය යන ගෞරව විධාන සම්මුතිය සහිතව කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ විද්‍යාලංකාර පරිවෙණාධිපති සහ අධ්‍යක්ෂක වැලමිටියාවේ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

"නායක හිමියන්ට මෙවන් ගෞරව පදවියක් ලැබීම අපේ ශාසනික ඉතිහාසයේ විශේෂ සංධිස්ථානයක්.

ඔබවහන්සේ ඉටුකරන කාර්යභාරය සඳහා අවශ්‍ය කරන සෑම සහයෝගයක්ම ලබා දීමට පියවර ගන්නවා.

විද්‍යාලංකාර පිරිවෙනටත් ඒ වාගේම ඔබ වහන්සේගේ අභියෝගාත්මක කාර්යභාරයන් තවදුරටත් ශාසනයේ දියුණුව උදෙසා සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ලෝකයම බුදුදහම සොයන අවස්ථාවක ඒ පිළිබඳ මගපෙන්වීමට අපේ නායක හිමිවරුන් ඉටු කරන කාර්යභාරය සුවිශේෂයි.

අපේ ගොවි ජනතාව මෙවර මහ කන්නයේ අස්වැන්න ඉතාම සාර්ථක කරගෙන තිබෙනවා.

ඉදිරි වසර කිහිපය කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි කැප විය යුතුව තිබෙනවා."

මෙහිදී අනුශාසනා කළ වැලමිටියාවේ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ -

"විද්‍යාලංකාර පිරිවෙන කියලා කියන්නේ ඔබතුමන්ලාට ආගන්තුක තැනක් නෙවෙයි. විද්‍යාලංකාර ඉතිහාසය අධ්‍යනය කරනකොට පිලිප් ගුණවර්ධන මැතිතුමා මේ පිරිවෙනට තිබුණු බැඳීම සම්බන්ධතාවය හිටපු නායක හාමුදුරුවන් වහන්සේලාට තිබුණු ගෞරවය හොඳින් පැහැදිලි වෙනවා.
ථෙරවාදී දහමේ කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව හැටියට දැන් ලෝකයම පිළිගන්නවා.

හුඟක් බුද්ධිමත් පිරිස බුදුදහමේ හරය ගවේෂණය කරමින් යන වෙලාවක්.

බුදු දහම හොයන්න ඒ ගැන හොයන්න බලන්න ගවේෂණය කරන්න තැනක් හරියට නැහැ.

ඒ පිළිබඳ ගවේෂණාත්මක තොරතුරු ඇතුළත් කෞතුකාගාරයක් හදන්න කියලා අපි යෝජනාවලියක් ඉදිරිපත් කළා.

ථෙරවාදී බුදු දහම පාලි භාෂාවෙන් තියෙන්නේ. එය ඉංග්‍රීසියට පරිවර්තනය කරලා වැදගත් පොත් පත් ප්‍රකාශයට පත්කළ යුතුයි.

අපේ දේශීය දේ අගය කිරීමෙන් ආර්ථික අර්බුදයට පිළියම් සෙවිය හැකියි. මේ වෙනකොට සංචාරකයෝ පැමිණෙන්න පටන් අරගෙන තියෙනවා.

සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් නංවාලීමට රජය කටයුතු කරයි කියල හිතනවා.

කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පිළිබඳව අගය කළ යුතුයි."

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ද එක් විය.