ශෝක පණිවිඩය

අපට ලොවට දියහැකි උතුම්ම දායාදය ථේරවාදී බුදු දහමයි. එකී වගකීම පෙරදැරිව මහා විහාරය කේන්ද්‍රීයව දෙස් විදෙස් ශාසනික අභිවෘද්ධිය උදෙසා අනුපමේය මෙහෙවරක් කළ, අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම බලවත් ශාසනික හිඩැසක් වෙනු ඇත.

ශ්‍රී ලංකාවාසි හා විදේශ බෞද්ධ ජනතාවටද අන්‍යාගමික ජනතාවටද උතුම් හා පූජනීය වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගනිමින් වන්දනා කරගන්නා ජනතාවටද මුළු මහත් ජාතියටද මහ නායක හිමියන්ගේ ශාසනික සේවාව මහත් අභිමානයක් උදා කළේය. ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධී සංවර්ධනයටද තම වටිනා මඟ පෙන්වීම හා දායකත්වය දැක්වීම සුවිශේෂී ආදර්ශයකි.

ආගමික, සංස්කෘතික හා සමාජයීය, මෙහෙවරයන් රාශියක් සමාජ ගතකළ උන්වහන්සේ පෝෂිත ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම ශාසනික උන්නතියට පාදක වූ බවද සිහිපත් කිරීම වටී. පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සම්බන්ධයෙන් උන් වහන්සේ සුවිශේෂී සැලකිල්ලක් දැක්විය. තාක්ෂණය සමඟ අලුත්වන ලෝකයට ගැලපෙන ලෙස භික්ෂු අධ්‍යාපනයද සකස්විය යුතු බව දැඩිව විශ්වාස කළ නායක හිමියන් මහා විහාරයේ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් තොරතුරු තාක්ෂණ මංපෙත් විවරකොට භික්ෂු අධ්‍යාපනය තවදුරටත් සංවර්ධනය කළේ ය.

මා පූජාභූමි අමාත්‍යවරයාව සිටියදී මහා විහාරය හා මහමෙව්නාව ආශ්‍රිත පූජාභූමි සංවර්ධන කටයුතුවලදී ලබාදුන් අනුශාසකත්වය හා සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරමි. අටමස්ථානාධිපති ඉතිහාසයේ එම පදවියට පත් ලාබාලම භික්ෂූන් වහන්සේ ලෙස අටමස්ථානයම සුරැක පෝෂණය කරමින් එදා උන්වහන්සේ දුන් නායකත්වය ද අගනේය.

අප නාහිමියන්ගේ අපවත්වීමෙන් ශෝකයට පත් සහෝදර, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, ඥාති මිත්‍රාදීන්, දායකකාරකාදීන් හා බැතිමතුන් සැමට සංවේගය පුදකරමි.අපවත් වී වදාළ අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමි.


දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය

Download Release