සැලසුමක් සහිත සංවර්ධනයකට රට යොමු කරමු. ඓතිහාසික මුල්ලේරියා වෙල සහ වැවේ තදාසන්න ප්‍රදේශ උරුමයක් ලෙස ආරක්ෂා කරනවා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

නිසි සැලසුමක් සහිත සංවර්ධනයකට රට යොමු කල යුතුව ඇතැයි අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ 2022.11.03 දින කළ නිරීක්ෂණ චාරිකාවක දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරයා

"නාගරික කේන්ද්‍ර නගරයක් ලෙස මේ ප්‍රදේශය තවදුරටත් සංවර්ධනය කිරීමේ සැලසුම් සකස්කර තිබෙනවා. නමුත් සැලසුම් යලි සමාලෝචනය කර, සභාවේ අනුමැතියට යටත්ව ගැසට් පත්‍රයට පරිවර්තනය කිරීම යෝග්‍යයි.

මගේ පියා පිලිප් ගුණවර්ධන අමාත්‍යතුමා 1936 අවිස්සාවේල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරන කාලේ කොටුවිල කලු පාලම සිටි අවිස්සාවේල්ල දක්වා එක ආසනයක්. පසුව විවිධ ආසන බවට කැඩිගියා.

කොටිකාවත්ත මුල්ලේරියාව සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. එදා රජ මාවත සකස් කෙරුණා . නමුත් දැන් පාලම් මතින් යන අධිවේගයක් යෝජනා වෙලා තියෙනවා. ඒත් පොලොවෙන් ගමන් කරන එක තමයි ලාබ. උඩින් ගමන් කරනවා කියන්නෙ මහා පරිමාන ආයෝජනයක්. ඉදිරි අයවැය සකස් උනාට පස්සේ මේ මාර්ගයේ කටයුතු කඩිනම් කරන්න පුළුවන්.

ඒ වගේම ජලනල පද්ධතිය එලීමේදී මාර්ග හානියටත් ජල සම්පාදන මන්ඩලයට වෙනම මුදල් වෙන් කරනවා. මේ අඹතලේ සිට කොළඹ දක්වා ඉදිවන නව නගරය දක්වා මහ මුහුදින් යන ජල නල පද්ධතිය අනාගතයේදී මෙයින් වැඩි ප්‍රතිලාබයක් කොටිකාවත්ත හා කොළොන්නාව පලාත්පාලන ආයතනවලට ලබා දෙන්න අලුත් වැඩපිළිවෙළක් අපි යෝජනා කරලා තියෙනවා.

කොලොන්නාව කර්මාන්ත ශාලාව අදායම් සහිතව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. අලුත් ආයෝජකයින් සමග මේ ප්‍රදේශයට අලුත් සංවර්ධන සැලැසුම් ගෙනඒමටත් යෝජනා වෙලා තියෙනවා . ප්‍රධාන නගර, යාබද නගර මහනගර බවට සලකා බැලීමේ සංවර්ධනය ඉලක්කයකට ගමන් කරනවා.



ජලය බැසයාමේ යෝජිත සැලැස්ම ක්‍රියාත්මක කිරීමෙන් පසුව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශයේ, විශාල ප්‍රදේශයක් සංවර්ධන කරන්න පුලුවන්. සැලසුමක් නැති සංවර්ධනයක් වෙනුවට සැලසුමක් සහිත සංවර්ධනයකට වේගයෙන් යොමු කරන්න පුළුවන්.

කොටිකාවත්ත මුල්ලෙරියාව බල ප්‍රදේශයට තියෙන සුවිශේෂ සම්පත් සැලැස්මකට දියුණු කිරීමට අවශ්‍ය යි. මුල්ලේරියා වැව සහ වැවේ තදාසන්න ප්‍රදේශ ඓතිහාසික උරුමයක් ලෙස ආරක්ෂා කර ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සමඟ විශේෂ සාකච්ඡාව පවතිනවා.

පෙබරවාරි 4 රටට නිදහස ලැබිලා අවුරුදු 75ක්. ඒ සම්බන්ධයෙන් රට පුරා දියත් කරන විශේෂ වැඩසටහනට, පෙරදිග ලෝකයේ බටහිර ජාතියක් දරුණු ම පරාජයට පත්වූ ඓතිහාසික මුල්ලේරියාව සටන සිදු වූ මුල්ලේරියා වෙල ඇතුලත් කරලා කටයුතු කරනවා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉඳුනිල් කුමාර ඇතුළු සභිකයින් මෙම අවස්ථාවට සහභාගි වූහ.