Daraz සමුහය හරහා “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” වැඩසටහන පුළුල් කිරීමට සහයෝගය දක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා Daraz සමුහ ව්‍යාපාරයෙන් ඉල්ලා සිටී.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ එක්ව ක්‍රියාත්මක කරන Daraz සෞභාග්‍යා නිෂ්පාදන කාර්යාංශය සහ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන පුළුල් ලෙස ක්‍රියාත්මක කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා Daraz සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී බ්ජාක් මිකෙල්සන් (Bjarke Mikkelson) මහතාගෙන් ඉල්ලා සිටියේය.

මිකෙල්සන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් Daraz නියෝජිත පිරිසක් සමඟ පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වු සාකච්ඡාවකදී Daraz Connect වැඩසටහන ග්‍රාමීය කුසලතා සංවර්ධනයට ‍බෙහෙවින් ඉවහල් වනු ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය, විදුලි බලයෙන් ක්‍රියා කරන පාපැදි නිෂ්පාදනය සහ ග්‍රාමීය කෘෂිකාර්මික හා ස්වයං රැකියා ආශ්‍රිත නිෂ්පාදන සඳහා වෙළඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳ විමසා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට Daraz ප්‍රධාන විධායක නිලධාරීවරයා එකඟ විය.

Daraz සමුහය යනු අලෙවිකරුවන්ට තම නිෂ්පාදන අන්තර්ජාලය හරහා අලෙවි කිරීම සහ තම වෙළඳ මෙහෙයුම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ඔස්සේ සිදු කරන ආකාරය පිළිබඳව ග්‍රාමීය නිෂ්පාදකයින්ට අවබෝධයක් ලබා දීම සදහා සුදුසු වේදීකාවක් බව කළමනාකරණ අධ්‍යක්ෂ රාඛිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. සෑම Daraz සමුහයකම අලෙවිකරුවන් හට මග පෙන්වීමට සහ විශේෂ වැඩමුළු සම්බන්ධීකරණය කිරීමට Daraz නියෝජිතයෙකු කටයුතු කරන බව එහි ක්‍රමවේදය විස්තර කරමින් Daraz ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරීනි අනිෂ්කා ද සිල්වා (Anishka De Zylva) පැවසීය.

දේශසීමා ඉක්ම වු කලාපීය වෙළෙඳාම, සැපයුම් සේවා , තාක්‍ෂණය සහ සෘජු විදේශ ආයෝජන සම්බන්ධ රජයේ ප්‍රමුඛතා පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි. දේශසීමා ඉක්ම වු වෙළඳ මෙහෙයුම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යය ඔස්සේ සිදු කිරීම සහ ශ්‍රී ලංකාව කලාපයේ ඉලෙක්ට්‍රොනික වෙළඳ මෙහෙයුම් සිදු කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය.

Daraz සමුහය විසින් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 15 කට අධික මුදලක් ආයෝජනය කරමින් 1500 කට අධික පිරිසකට සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා ලබා දී ඇති අතර එය රටේ විශාලතම ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය ව්‍යාපාරය සහ අන්තර්ජාල වෙළඳපොළ වේ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, Daraz ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී දර්ශිකා අත්තනායක, පරිපාලන, ප්‍රසම්පාදන හා රාජ්‍ය සබඳතා ප්‍රධානී මලිත් රණදේව යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.