රට තොරතුරු තාක්ෂණයේ ලොව පතල කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් ඉවසීමෙන් සැලසුම් සහගතව ඉලක්කයකට වැඩ කරන ජාතියක් ලෙස යළි පත්විය යුතුයි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

රට තොරතුරු තාක්ෂණයේ ලොව පතල කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් ඉවසීමෙන් සැලසුම් සහගතව ඉලක්කයකට වැඩ කරන ජාතියක් ලෙස යළි පත්විය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

2022.10.20 දින අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක මාලඹේ තුසිතපුර අශෝකාරාමාධිපති ආචාර්ය පූජ්‍ය දිමියාවේ අමරවංශාභිධාන ස්වාමීන් වහන්සේ හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
මාලබේ සිට කඩුවෙල දක්වා වූ කේන්ද්‍ර ප්‍රදේශය තොරතුරු තාක්ෂණයේ ලොව පතල කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. දුරදිග නොබැලීම නිසා එම ඉලක්කය අතහැර දමා තිබෙනවා. අද තොරතුරු තාක්ෂණය නැතිව ලෝකය සමඟ ගනුදෙනු කරන්න බැරි තත්වයකට ලෝකයේ හැම රටක්ම පරිවර්තනය වෙමින් තිබෙනවා. ඒ නිසා අපි ඉවසීමෙන් සැලසුම් සහගත ඉලක්කයකට පරමාර්ථයක ට වැඩ කරන ජාතියක් බවට යළි පත්විය යුතුයි.

කැලණි ගඟේ ජලය පහළට ගලනවා. බුදුන් වහන්සේ වැඩි කාලයෙත් කැලණි ගඟේ මහා ජල දහරාවක් මුහුදට ගලා ගියා. එවැනි ජලධාරා රාශියක් තිබෙන රටක ඩීසල්වලින් පෙට්‍රල්වලින් විදුලිය හදනවා. මේ පරතරය විසඳන්න බැරි නම් දිගටම විදුලිය බරක් ඇති වැයක් බවට පත්වේවි. මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට දැනුමක් ඇති පුද්ගලයින් කැඳවීමට බලාපොරොත්තු වෙනවා.

භෞතික දේ පමණක් රැස් කිරීමට කැපවූ සමාජය දැඩි තැති ගැනීමකට පත්වුණා. භෞතික දේ පමණක් සොයා යාමෙන් සමාජය පවත්වාගෙන යාමට බැරි තරමට පත්වනවිට එය අර්බුදයකට ලක් වෙනවා. අපි හැමදේම අනුකරණවාදී වුණා. ජීවිතයේ මහන්සිවීම අත ඇරලා දාලා යාන්ත්‍රික වීම හැම දෙයක්ම ලේසියෙන්ම ලබා ගැනීමට හැකි බව කල්පනා කිරීම මත ඇතිවුණු ජීවන රටාව නිසා අපේ රට අද විශාල අර්බුදයකට පරිවර්තනය වී තිබෙනවා. එකට අත්වැල් බැඳගෙන අපි මේ අර්බුදය හරහා ගමන් කර ජයග්‍රහණය කළ යුතුයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන දායක සභාවේ සභාපති චන්දන පුෂ්පකුමාර සහ නගරික මන්ත්‍රී චාමර ජයලත් යන මහත්වරුන් සහභාගි විය.