අග්‍රාමාත්‍යවරයා එක්සත්ජාතීන්ගේ වෙසක්දින උළෙල අමතයි... (2023.06.01) තායිලන්තය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, 2023.06.01 දින තායිලන්තයේ චූලලෝන්කෝන් රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ දී, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළේ ප්‍රධාන දේශනය කරමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා-

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය තායිලන්තයේ සංවිධානය කිරීම පිළිබඳව මහා චූලලෝන්ග්කෝර්න් රාජවිද්‍යාල විශ්ව විද්‍යාලය, වෙත මාගේ සුභ පැතුම් පිරිනමන්නේ ඉතාමත් ගෞරවයෙනි. බෞද්ධ වර්ෂයෙන් 2567 වූ (ව්‍යවහාර වසරෙන් 2023) වෙසක් පුර පසළොස්වක පොහොය දිනය, මේ වසරේ මෙම සම්මේලනයට සහභාගී වෙමින් සැමරීමට ලැබීම වැදගත් සන්ධිස්ථානයක්.

මෙම දේශනය පැවැත්විම මට ආරාධනා කිරීම ගැන අතිපූජ්‍ය මහා සංඝරත්නය, ජාත්‍යන්තර වෙසක් දින සභාව, ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය, අයුත්‍යා හි මහා චූලලෝන්ග්කෝර්න් රාජවිද්‍යාල විශ්වවිද්‍යාලය (MCU), බැංකොක්හි එක්සත් ජාතීන්ගේ ESCAP මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සංවිධායකයින් වෙත මාගේ අවංක ප්‍රණාමය හිමි වියවුතුය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ගුරුවරයා වන සිද්ධාර්ථ ගෞතම කුමරු උපත ලැබුවේ වෙසක් පොහොය දිනකයි. සුඛෝපබෝගී පවුලක හැදී වැඩුණත්, ඔහු මනුෂ්‍යත්වයේ දුක පැහැදිලිව අවබෝධ කර ගත් අතරම, වසර ගණනාවක දුක්ඛිත අරගලයකින් පසුව, කිසිවකුගේ උදවුවක් මගපෙන්වීමක් නොමැතිව ස්වකීය උත්සාහයෙන් හා ප්‍රඥාවෙන් සියලු ක්ලේශයන් තුරන් කර, ඔහුගේම දැනුම මත වේදනාව සැබෑ ලෙස අවබෝධ කර ගත්තා. වෙසක් පුර පසළොස්වක පොහොය දින උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එතුමා "බුදුන්" ලෙස මෙලොවට ඉපදුනේ නැහැ, නමුත් ස්වෝත්සාහායෙන් "බුද්ධ" බවට පත්වුණා.

බුදුන් වහන්සේ වසර හතළිස් පහක් මුළුල්ලේ මනුෂ්‍යයන් ඇතුළු සියලු සත්වයන්ගේ යහපත පිණිස දේශනා කොට වැඩ සිටි සේක. උන් වහන්සේගේ ගෝලයන්ට ඔවුන්ගේ "එකම ගුරුවරයා" ලෙස ධර්මය සහ විනය උගන්වා වදාළ සේක. සමස්ත පරිසර පද්ධතිය සාමූහිකව ආරක්ෂා කරන සහ ඊට සේවය කරන අන්‍යයන්ගේ සහපත සඳහා මධ්‍යම පටිපදාව, මධ්‍යස්ථ හෝ මධ්‍යම මාර්ගය සහ පරට්ඨම් පටි-පජ්ජත තුළ මානව ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම උන්වහන්සේගේ ඉගැන්වීම තුළින් අවධාරණය කරනවා.

අපි මේ වසරේ තායිලන්තයේ රැස්ව සිටින නිසා, ’එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය’ 20 වන සංවත්සරය සහ එහි 18 වන අවස්ථාව සමරනවා. වර්තමාන ලෝක ජනගහනයෙන් පහෙන් එකකට වැඩි පිරිසක් බුදුන් වහන්සේ තම උත්තරීතර ගුරුවරයා ලෙස සලකන බැවින් බුද්ධත්වයට පත් වූ උන්වහන්සේගේ ඉගැන්වීම් පෝෂණය කිරීම සහ ප්‍රචාරණය කිරීම සඳහා ලොව පුරා බෞද්ධයන් එක්රැස් වූ මෙම සම්මේලනය අපගේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, අති විශිෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයෙකු වන දිවංගත ගරු. ලක්ෂ්මන් කදිරගාමර් විසින් මහා සංඝරත්නය සහ ලොව පුරා සිටින බුද්ධ අනුගාමිකයින් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් නිසා අද අපි ලොව පුරා බෞද්ධයන් වෙනුවෙන් මෙම උතුම් දිනය සමරන බව මොහොතකට සිහිපත් කළ යුතුයි. දිවංගත තායිලන්තයේ රජු වන අති උතුම් භූමි-බෝල් අතුල්-යාදේජ් විසින් ඒ සඳහා අඛණ්ඩව ලබා දුන් අතිමහත් ආශිර්වාදය ද මේ මොහොතේ සිහිපත් කරනවා.

බුද්ධ ශාසනය පිහිටුවීමට සහ ප්‍රබෝධමත් කිරීමට අප බුදුරදුන්ගේ ඉගැන්වීම් නැවත නැවතත් හුවමාරු කරගත් නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශතවර්ෂ ගණනාවකට එහා අතීතයකට දිව යනවා. ශ්‍රී ලංකාවේ සංඝ ශාසනය පුනර්ජීවනය කිරීම සම්බන්ධයෙන් සියම් දේශයේ සිට පැමිණි අතිපූජ්‍ය උපාලි නාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකාව සැමවිටම කෘතඥ වෙනවා.

තායිලන්තයේ අතිපූජ්‍ය උපාලි මහා නාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ අතිපූජ්‍ය සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේලා ශ්‍රී ලංකාවේ සංඝ ශාසනය පුනර්ජීවනය කර, සියම් සංඝ නිකාය ස්ථාපිත කළා. ශ්‍රී ලංකාව මේ වසරේ එම ප්‍රයත්නයන්ගේ 270 වැනි සංවත්සරය සමරනවා.

අතිපූජ්‍ය සඟරාජ මහා ස්වාමින් වහන්සේ ගේ දූරදර්ශී මග පෙන්වීම හා ආශිර්වාදය නොවන්නට මේ මහෝත්සවයේ රැස්වීමත් අප මෙතෙක් පැමිණි ගමනත් සාර්ථක නොවන්නට ඉඩ තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, රජය සහ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්, තායිලන්තයේ සංඝරාජ අති ගෞරවනීය සොම්දෙත් ප්‍රා-ආරිය-වංශ-ගථායන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී, චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.

මෙම වාර්ෂික රැස්වීමේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ තායිලන්තයේ මහා වජිර-ලෝන්ග්-කෝන් රජුගේ දූරදර්ශී අනුග්‍රහයයි. උන්වහන්සේ 1993 වසරේ කොළඹ, නුවර සහ ගාල්ලට වැඩම කළ බව අපට මතකයි. මීට වසර 30කට පෙර එවකට ඔටුන්න හිමි කුමරු, 1897 සිට උන්වහන්සේගේ පවුලේ රාජකීය මුතුන් මිත්තන් පැවිදි වී භික්ෂුත්වයේ වාසය කළ, කොළඹ දීප දුප්තමාරාම විහාරස්ථානයට වැඩම කිරීම ශ්‍රී ලංකාවාසී මහා සංඝරත්නයටද විශේෂ අවස්ථාවක්.

මහනුවරදී ශ්‍රී දළදා මාලිගාවට ගොස් අති උතුම් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මහරජතුමාට හැකිවුණා. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්, මම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සුභාශිංසන එතුමන් වෙත පිරිනමනවා.

“බෞද්ධ ප්‍රඥාවෙන් ගෝලීය අර්බුදයට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේද” යන්න ගැඹුරින් අවබෝධ කර ගැනීමටත්, එමඟින් නව ඉදිරි ගමනක් සඳහා නැවුම් පිළියම් ගෙන ඒමටත් එක්සත් ජාතීන්ගේ අවංක උනන්දුව සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය දීප්තිමත් ආදර්ශයක් සපයා තිබීම සතුටට කරුණක්. අද ලොව පුරා සිටින සිහිබුද්ධියෙන් යුතු පුරවැසියන් "තිරසාර සංවර්ධනය", "සමාජ වෙනසක් ඇති කිරීම", "ගෝලීය උණුසුම", "පාරිසරික ආරක්ෂාව", "සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්", "සාමය ගොඩනැගීම", "පශ්චාත් ගැටුම් ප්‍රතිසාධනය" සහ ඒ හා සමාන ගැටලු සඳහා බෞද්ධ ප්‍රතිචාර පිළබඳ ප්‍රබුද්ධ සාකච්ජාවල යෙදෙන බව මෙහි රැස්ව සිටින අප සැමට වැටහෙනවා.

සත්තකින්ම මේ නිමක් නැති චක්‍රය හෙවත් සංසාරය තරම් විශාල අර්බුදයක් තවත් නැහැ. මෙය, ප්‍රබුද්ධයන් විසින් “හේතුව සහ ඵලය” ලෙස සිහිකල්පනාවෙන් යුතුව විවේචනාත්මකව විශ්ලේෂණය කළ අතර, වස්තූන්වල සත්‍ය ස්වභාවය සැබෑ ලෙසම අවබෝධ කරගත්තා. එවිට "මැද මාවත", එකම මධ්‍යස්ථ ප්‍රායෝගික ඉදිරි මාර්ගය ලෙසත්, විරාමයක් හෝ අවසානයක් කරා ළඟා වන තෙක් තමාටම අනන්‍ය වූ මාවතක "සිහියෙන් යුතුව ගමන් කිරීමේ" අවශ්‍යතාවයත් අවබෝධ කරගත්තා.

බෞද්ධයන් වශයෙන් අපට අනෙක් සෑම අර්බුදයක්ම නැවුම් මනසකින් යුතුව විමසා බැලීමට නිරාකරණය කිරීමට සහ කළමනාකරණය කිරීමට එළැඹෙන නව අභියෝගයක් පමණයි. ප්‍රබුද්ධයා විසින් පරිසරය - මිනිසා, සතුන් සහ ශාක රැකබලා ගැනීම සඳහා ගැඹුරු කල්පනාකාරී පිළිවෙත් ස්ථාපිත කොට ජීවිත කාලය පුරාම එය පුහුණු කිරීම ආරම්භ කළා. “ලද දෙයින් සතුටු විමේ” වැදගත්කම, මානව අභිවාද්ධිය සඳහා කාලය සහ සම්පත් වගකීමෙන් හා අල්පේච්ඡව භාවිතා කිරීම හුරු කරවන බෞද්ධ ඉගැන්වීම් තුළ පමණක් අවධාරණය කරනවා.

බුදුන්වහන්සේ “නිරෝගීකම උතුම්ම ධනයයි” යන ප්‍රඥාවන්ත වදන් මීට වසර 2600කට පෙර ලොවට උගන්වා වදාළේ. "මිනිසාගේ වගකීම් සහගත අභිවෘද්ධිය" සහ "සමාජයේ තිරසරභාවය" සඳහා මැද (මධ්‍යස්ථ) මාවත හඳුන්වා දුන් සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ එවකට ස්ථාපිත සමාජ ව්‍යුහයට අභියෝග කරමින් මානව වර්ගයාගේ ඉතිහාසයේ විශාලතම විප්ලවය ආරම්භ කරනු ලැබූවා.

අද, අප හමුවන්නේ ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම, ධනවත් අයගේ සිට දුප්පතුන් දක්වා වූ සෑම තරාතිරමකම මිනිසුන්ගේ ජීවිත මිලියන ගණනින් අහිමි වූ පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය වසංගතයකින් පසුවයි. රැස්කරගත් දෙයින්( ද්‍රව්‍යමය) පමණක් තවදුරටත් පැවැත්මක් නැති බවත්, මෙතරම් විශාල අර්බුදයක් ජය ගැනීම එකිනෙකාට සේවය කිරීමේ සාමූහික ප්‍රයත්නය තුළින් පමණක් සිදුකළ හැකිබවත් අවබෝධ කර ගැනීමට එය ලෝක ප්‍රජාවගේ මනස විවෘත කිරිමට සමත් වුණා.

වසංගතයෙන් පසු ලොව පුරා ආර්ථික ක්‍රියාකාරකම්වල දැවැන්ත මන්දගාමීත්වයක් දක්නට ලැබිමත් සමග ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වුණා. මිනිසුන් දරිද්‍රතා රේඛාවෙන් තවත් පහළට තල්ලු වුණා. ළමයින්, වැඩිහිටියන්, කාන්තාවන් සහ සමාජයේ අනෙකුත් අවදානමට ලක්විය හැකි කොටස්වලින් සමන්විත පවුල් මෙයට ඇතුළත් වෙනවා. මෙමගින් ලොව පුරා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය වැඩි වුණා. රජයට, පෞද්ගලික අංශයට හෝ කිසිම ආයතනයකට මේ සඳහා සාධාරණ විසඳුමක් සොයා ගැනීමට නොහැකි වුණා.

අනෙක් අතට, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පැහැදිලිවම හෙලිදරව් කළ පරිදි, එම කාලය තුළම, ගෝලීය භාණ්ඩ ප්‍රවාහන නැව් 1000% කට වඩා අසාධාරණ ලාභ උපයමින් සිටි අතර ආහාර, ඖෂධ, සහ ලොව පුරා ප්‍රධාන අපනයන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ විමත් බෙදා හැරීම් තවදුරටත් අවහිර වීමත් සිදු වුණා. මේ තත්වය සමනය කිරීම සඳහා, ජනාධිපති බයිඩෙන් බදු ප්‍රතිකර්මයක් හඳුන්වා දුන්නා. එමගින් මැද මාවතකට ළඟා වී දුක්විඳින අයගේ කනස්සල්ල අඩු කිරීමට සහ සදාචාර විරෝධී සුපිරි වාසි ලබන පුද්ගලයින් මධ්‍යස්ථ මට්ටමකට පත්කිරීමට අපේක්‍ෂා කෙරුණා.

ශ්‍රී ලංකාව පසුගිය මාස 10 තුළ දශක ගනනාවක් තිස්සේ පැවති ආන්තික ආර්ථික ප්‍රතිපත්ති අත්හැර දමා මැද මාවත අනුගමනය කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට විශාල ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිකිරීමට සහ මැද මාවතේ ඉදිරියට යාමට ගෝලීය විශ්වාසය නැවත ලබා ගැනීමට ඉමහත් ලෙස උපකාරී වී තිබෙනවා.

ගෞතම බුදුපියාණන් වහන්සේ අංගුත්තර නිකායේ අනන සූත්‍රයේ දී ණයගැති බව ගැන වදාළා. අනන යන වචනයේ තේරුම ණය නොමැති බව යන්නයි. පුද්ගලයෙකුට හෝ ජාතියකට ණය බරින් තොරව ජීවත් විය හැකි නම්, එම පුද්ගලයාට හෝ රටට සතර ආකාරයක සැපයක් ලබා ගත හැකියි. අත්ත සුඛය-ධාර්මික මාර්ගයෙන් ධනය හිමිකර ගැනීමේ සතුට, භෝග සුඛය-උපයාගත් ධනය නිසි ලෙස පරිහරණය කිරීමේ සතුට, අනන සුඛය- ණයෙන් නිදහස් වීමේ සතුට, අනවජ්ජ සුඛය-නිදොස් ජීවිතයක් ගත කිරීමේ සතුට එම සතර ආකාර සැපයයි. එය ප්‍රීතිමත් රාජ්‍යයක උච්චතම අවස්ථාවයි.

එබැවින්, මනුෂ්‍ය වර්ගයා විසින් කිසිදා නොඇසූ-නොදුටු-නොසිතූ, පෙර නොවූ විරූ කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ජාතීන් මත ගොඩගැසී ඇති සියලුම ණය සහ ගෙවා නිමකළ නොහැකි මූල්‍ය බැඳීම් සඳහා විශ්වීය සමාකාලයක් හෝ ඒ හා සමාන පිළියමක් ලබාදෙන ලෙස මෙම උත්තරීතර සභාව ඒකමතිකව ඉල්ලා සිටිනවා. මෙය මූලික වශයෙන් ලොව පුරා කනස්සල්ලට පත් මනස් මිලියන ගණනකට ලබා දිය හැකි වඩාත්ම සදාචාරාත්මක සහනය වන්නට පුළුවන්.

නූතන අර්බුදය ආරම්භ වන්නේ දිනෙන් දින වර්ධනය වන මිනිස් ජනගහනයෙන්. අද ලෝකයේ බිලියන 8 කට වඩා වැඩි පිරිසක් සිටිනවා. ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය, ඉඩම් සහ ආහාර හිඟය සමග අඛණ්ඩව පොරබදන්නට මෙම ජනතාවට සිදුවෙනවා. මෙසේ පොරබදන්නට සිදුවන්නේ ගෝලීය වසංගත, ස්වාභාවික විපත්, මූල්‍ය බිඳවැටීම් සහ විනාශකාරී යුද්ධ ද මධ්‍යයේ යි.

බිලියන 1.4කට අධික ජනතාවක් සිටින චීනය මේ වසරේ ආරම්භය වනතුරු ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වූ අතර, “පරිම ග්‍රාමීය දරිද්‍රතාවයෙන්” “මිලියන සිය ගණනක ජනතාවක්” නඟා සිටුවීම සඳහා විශේෂයෙන් ඉලක්ක කරගත් දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදු වුණා. ඔවුන්ගේ සාර්ථකත්වය මානව වර්ගයාගේ ඉතිහාසයේ නැවුම් මනසකින් ගැටළු විසඳීම සඳහා වලංගු උදාහරණයක් වන අතර දිළිඳුකම පිටුදැකීමට වැදගත් පිළියමකි.

ග්‍රාමීය කෘෂිකාර්මික නිෂ්පාදනය ආහාර නිෂ්පාදනයේ කොඳු නාරටිය ලෙස හඳුනා ගත් ඉන්දියාවේ බලධාරීහු ග්‍රාමීය ගොවීන් මිලියන 80 කට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා සෘජුවම ඇමරිකානු ඩොලර් බිලියන 2 කට ආසන්න මුදල් ප්‍රමාණයක් විද්‍යුත් වශයෙන් ගෙවන ලද අතර, නැවතත්, නැවුම් මනසකින් යුතුව කටයුතු කිරීම ප්‍රකට කර ඇත.

ඉතා මෑතක දී ස්පාඤ්ඤයට කාර්යය බහුල සතියේ දිනක විදුලි ඉල්ලුමෙන් සියයට 100 ක් ජල, සූර්ය සහ සුළං යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා අඛණ්ඩව බලශක්තිය ලබා ගැනීමට හැකි වුණා. එමගින් පරිසරය මෙන්ම මහජන ඉල්ලුම ගැන සැලකිලිමත් වෙමින් හෙට ලොව පුරා අත්‍යවශ්‍ය බලශක්ති සූත්‍රවල තිබිය යුතු දේ සලකුණු කරන අතර නැවත වරක්, නැවුම් මනසක් සමඟ කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරනවා.

ඒ හා සමානව, තායිලන්තයේ ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිපත්තිය බුදුදහම සහ තිරසර සංවර්ධනය අතර සම්බන්ධයක් සපයන හොඳ උදාහරණයක්. මෙය රාජ්‍ය, පෞද්ගලික සහ පුරවැසි සංවිධාන දක්වා ව්‍යාප්ත වී ඇති ආර්ථිකය, සමාජය සහ පරිසරය සමඟ අන්තර් සම්බන්ධතා පිළිබඳ බෞද්ධ ලෝකයේ දැක්ම මත පදනම් වූ ප්‍රමාණවත් ආර්ථික දර්ශනය පදනම් වූ සුවිශේෂී තිරසර රාමුවක්.

එබැවින්, මෙම මූලික වශයෙන් අත්‍යවශ්‍යම අර්බුදයට නැවුම් මනසකින් මුහුණ දිය යුතු ආකාරය පැහැදිලිවම ආසියාව ලෝකයට පෙන්වා දෙනවා. "මේ සියවස ආසියාවේ සියවස" බව බොහෝ අවස්ථාවල බොහෝ සංසදවල පවසා තිබෙනවා. ලෝකයේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයෙන්ම ඓතිහාසික ප්‍රඥාව සහ භාවිතයන් සොයා ගත යුතු ස්ථානය ආසියාවයි. තවද ASEAN යනු ආසියාවේ අවියෝජනීය කොටසකි. ASEAN යනු බෞද්ධ ප්‍රඥාව සඳහා මනස් දොරටුවයි සහ ගෝලීය ආහාර නිෂ්පාදනයේ තිරසාර කෘෂිකාර්මික පිළිවෙතයි.

ථෙරවාද සම්ප්‍රදාය ප්‍රඥාවෙන් පසු ලෝකයේ දෙවන වඩාත්ම වටිනා බෞද්ධ සම්ප්‍රදායයි. ථෙරවාදී රටවලට සේවය කිරීමටත් ලෝකයේ බොහෝ අර්බුධ සුවපත් කිරීමටත් අවශ්‍ය මූලික සහජීවනය විපස්සනා භාවනාව තුළින් සිහිය පිහිටුවා ගැනීමයි. මෙම උත්සාහය සඳහා ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය සහ ලාඕසය යන ථෙරවාදී ජාතීන් අතර පුළුල් සංස්ථාවක් අත්‍යවශ්‍ය වේ. අපගේ ජාතීන් අතර වඩාත් නිදහස් සංචලනය සහ අන්තර්ක්‍රියා තවදුරටත් ශක්තිමත් කළ යුතුය.

අනෙක් වැදගත්ම දෙය නම්, අනාගතය, තරුණ තරුණියන් “මානුෂික” අංශය කෙරෙහි අවධානය යොමු කර නවීන ශිෂ්ටාචාරයක් තුළ සිහිකල්පනාව ඇතිව අධ්‍යාපනයෙන් පෝෂණය වන ලොව පුරා දහම් පාසල් පද්ධතිය වැඩිදියුණු කිරීමයි.

මෙම පියවර ඉදිරියට ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව රජය වෙනුවෙන් සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම උත්තරීතර සභාවට දන්වා සිටින අතර 2025 න් පසුව එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඔබ සැමගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මෙම සමුළුව ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට විශාල ශක්තියක් සහ ආශිර්වාදයක් වනු ඇත.

අවසාන වශයෙන්, මේ අපි පසු කරන්නේ තොරතුරු යුගය බව අපි මතක තබා ගනිමු, නැතහොත් එය වැරදි තොරතුරු යුගය ලෙස හඳුන්වන්නෙමු. තොරතුරු ප්‍රබල බැවින්, එය යහපත සඳහා සේම අයහපත සඳහා ද භාවිත කළ හැකියි. වැරදි තොරතුරු වෙන කවරදාකටත් වඩා අනතුරක් ගෙන දිය හැකියි. බෞද්ධ ලෝකය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු අතර, කීර්තිමත් බෞද්ධ පඬිවරයකු වූ දිවංගත ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගෙන් උපුටා දැක්වීමට කැමතියි. විසිහය (26) සියවසේ බෞද්ධ ඉතිහාසය තුළ, බුදුදහම හෝ බෞද්ධ සම්ප්‍රදායේ නැගීම හේතුවෙන් කිසිදු යුද්ධ, ආක්‍රමණ, බලහත්කාරකමක් හෝ බලය යෙදවීමක් සිදු නොවීය. සම්ප්‍රදායිකව බෞද්ධ රටවල මෑත කාලීන සහ වර්තමාන ගැටුම් කිසිඳු ආකාරයකින් බුද්ධාගම සමඟ සම්බන්ධ වී නැතත්, ඇතැම් ඒවා “වැරදි ලෙස නිරූපණය” කරන ලද මාධ්‍ය සන්දර්ශන වේ.

ඊට පටහැනිව, බෞද්ධ ප්‍රජාව, අගතියට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට පරාර්ථකාමී ආධාර සඳහා ආදර්ශවත් උදාහරණයකි. මෙය බුද්ධ ශික්ෂාපදයේ සහ පිළිවෙතේ බලපෑමයි."

බෞද්ධයන් ඓතිහාසිකව සහ ලොව පුරා ප්‍රමුඛතම මූලධර්මයක් ලෙස “අහිංසාව” වෙනුවෙන් පෙනී සිටින බව සැමවිටම අවධාරණය කිරීමට මතක තබා ගන්න.

අවසාන වශයෙන්, මෙම සමුළුව සංවිධානය කිරීම සහ මෙහෙයවීම සඳහා විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා අඛණ්ඩව නොපසුබට උත්සාහය සහ කැපවීම වෙනුවෙන් වෙසක් දින ජාත්‍යන්තර කවුන්සිලයේ සභාපති අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා බ්‍රහ්ම-පණ්ඩිත් වෙත මාගේ අවංක කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

වෙසක් දින ජාත්‍යන්තර කවුන්සිලයේ සභාපති, ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ සභාපති සහ තායිලන්තයේ උත්තරීතර සංඝ සභාවේ සාමාජික, අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා බ්‍රහ්මපණ්ඩිත්, මහා චූලලෝන්ග්කෝර්න් රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ ප්‍රධානී අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා දම් වජ්‍ර පණ්ඩිත්, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමි අතුළු අතිපූජ්‍ය සංඝරාජ ස්වාමීන් වහන්සේලා සහ ගෞරවනීය මහා සංඝරත්නය, එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියානු ශාන්තිකර කළාපයේ ආර්ථක, සාමාජීය සහයෝගීතා සංවිධානයේ (ESCAP) විධායක ලේකම් Armida Salsiah Alisjahbana, අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, යන අය මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය