ග්‍රාමීය අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කොරියාවේ (Saemaul) සයිමෝල් පදනමට ස්තුතිය පළකරයි.

ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගත් ගම්මානවල යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොමසුරුව සහය ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොරියාවේ (Saemaul ) සයිමෝල් පදනම වෙත සිය ස්තූතිය පුද කළේය.

සයිමෝල් පදනමේ සභාපති ලී සූන්ග් (Lee Seung) සහ පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ශ්‍රී ලංකාවේ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2022.11.18 පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා හමුවිය.

කොරියානු දූත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යවරයා, 2022 ඔක්තෝම්බර් 29 වැනි දින සෝල් නුවරදී ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තවත් බොහෝ දෙනෙකුට ජීවිත අහිමිකරමින් තවත් පිරිසකට තුවාල සිදු කළ ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් කොරියාවට බලවත් ශෝකය ප්‍රකාශ කළේය.

කොවිඩ් - 19 වසංගතය අතරතුර ලබාදුන් සහය වෙනුවෙන් කොරියානු රජය සහ ජනතාව වෙත අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා සිය ප්‍රසාදය පළ කළ අතර කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) සහ අනෙකුත් ආයතන හරහා ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන උසස් අධ්‍යාපන අවස්ථා / පුහුණු වැඩසටහන් පිළිබඳව අගය කළේය.

ශ‍්‍රී ලාංකිකයින්ගේ ධාරිතා ගොඩනැංවීම සහ පුහුණු අවස්ථා සඳහා ලබාදෙන කෝටාව ඉහළ නැංවීමටත් අඛණ්ඩව ඉඩප්‍රස්ථා ලබාදිම පිළිබඳ සලකා බලන ලෙසත් අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිසෙන් ඉල්ලා සිටියේය.

සයිමෝල් ව්‍යාපාරය ප්‍රජා සංවර්ධන ව්‍යාපාරයක් බවත්, එය කෘෂිකාර්මික නිෂ්පාදනය, ගෘහ ආදායම, ග්‍රාමීය ජීවිතය, ජනතා සවිබල ගැන්වීම සහ කාන්තා සහභාගීත්වය තුළින් ග්‍රාමීය ප්‍රජා යහපැවැත්ම වැඩිදියුණු කිරීමට දායක වන බව ලී සූන්ග් මහතා මෙහිදී පැවසීය.

සයිමෝල් පදනම සබරගමුව පළාත් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර ඇහැලියගොඩ පහළගම ග්‍රාම නිලධාරී වසම සහ රඹුක්කන පිටියේගම ග්‍රාම නිලධාරී වසම යන තෝරාගත් ගම්මානවල සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇත.

කෑගල්ල සහ නුවරඑළියේ ද ව්‍යාපෘති ළඟදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ සයිමෝල් පදනමේ සභාපතිවරයා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහා ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන් සඳහා සහාය වීමට අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට ද එකඟ විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් (Woonjin Jeong), අධ්‍යක්‍ෂ ක්වෝන් ලූන්ග්මින් (Kwon Lyungmin), Saemaul Foundation හි ශ්‍රී ලංකා කාර්යාල අධ්‍යක්‍ෂ චෝයි සුන්ග් වූ (Choi Sung Woo), සහකාර අධ්‍යක්‍ෂවරුන් වන වැන්බෝ ක්යෝන්ග් (Hwangbo Kyeong සහ කිම් බෝමින් (Kim Bomin) ,) යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.