"පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ. අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා". - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගොඩබිමට ගෙන ඒම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් “සිසිලන පද්ධති සහිත ප්‍රථම බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායෙන් 2023.01.03 දින දියත් කළ අවස්ථාවේදීය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත පසු අස්වනු හානිය අවම කිරීම වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. මෙම නියමු ව්‍යාපෘතිය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, නර්ඩ් ආයතනය හා සීනෝර් යන ආයතන වල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා...
"අපේ ධීවරයා මුහුදට ගොස් ලබාගන්නා ධීවර නිෂ්පාදනය ආරක්ෂා කරගැනීමට මෙතෙක් නොතිබුනු වැදගත් පෙරළියක් අද දියත් වුණා. කාලයක් තිබුණු ප්‍රශ්නයට අභියෝගාත්මකව අප මුහුණ දිය යුතුයි.
අපේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 40ත් 60ත් අතර ප්‍රමාණයක් ගොඩබිමට ගේනකොට සුරක්ෂිත කර ගැනීමට බැරි නිසා සීයට සීයක ආදායමක් ලබාගන්න බැහැ. වඩාත් විශ්වාසනීය සැපයුම අඩු වෙනවා. නමුත් ධීවරයා මුහුණ දෙන වියදම අඩු වෙන්නේ නැහැ. යාන්ත්‍රික ලෙස මෝටර් බෝට්ටු බහුදින යාත්‍රා වලින් ධීවර කටයුතු වල නිරතව රැගෙන එන මත්ස්‍ය නිෂ්පාදනය විශාල ප්‍රමාණයක් ආරක්ෂා කරගන්නට යන්ත්‍රයක් නිෂ්පාදනය කරල ධීවරයන් සඳහා ප්‍රයෝජනයට පත්කිරීම විශාල පෙරළියක්. අපේ නාස්තිය අඩු කරගන්න පුලුවන් වන ප්‍රමාණයේන් අපේ ජයග්‍රහණයේ ප්‍රමාණය ඉහල යනවා. නව ක්‍රියාදාමය මගින් ධීවරයාගේ ආදායමට පමණක් නොව ඔහුගේ හා ඔහුගේ ජීවන වෘත්තියේ විශ්වාසයට දැවැන්ත ශක්තියක් බවට පරිවර්තනය වෙනවා.

පරණ පොතේ ආර්ථික විද්‍යාවේ ධීවර කියලා කෑල්ලක් නැහැ. මෙච්චර කල් දත්ත සැපයුමේ ආර්ථික විශ්ලේෂණය ඇතුල් කරලා තිබුණේ කෘෂිකර්මය ඇතුලටයි. ධීවර කියන ක්ෂේත්‍රය ධීවර මාතෘකාව ස්වාධීන බවට පරිවර්තනය කර ස්වාධීන ලෙස ධීවර ක්ෂේත්‍රය නගාසිටුවීමේ අභියෝගය ආර්ථිකයට මහඟු රුකුලක් වෙනවා ඇති.
කැපකිරීම් ක මාර්ග සුරක්ෂිත කරන්නට. දික්ඕවිට වරාය කාලෙකට පෙරාතුව විදේශ ණය මගින් ප්‍රතිසංස්කරණය කළා. එහි ප්‍රතිඵල උපරිම නෙලාගත යුතුයි.

යුරෝපා පොදු වෙළඳ හවුලේ යුරෝපා රටවලට අපේ මත්ස්‍ය වර්ග අපනයනය කරන්නට අපිට අවස්ථාව ලැබී තිබෙනවා. අපි ලබා දෙන නිෂ්පාදනයේ රස පමණක් නොව ගුණාත්මකභාවයත් ඉහළ තත්ත්වයක තිබිය යුතුයි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනය ඉල්ලුම් කරන රටවල් ප්‍රමාණය ඉහළ යනවා.

ලංකාවේ ධීවරයන්ට සත් සමුදුර හරහා ගමන් කරන්නට තියන හැකියාව දක්ෂතාවය දීර්ඝ වෙලාවක් ඈත මුහුදේ ඉන්න පුළුවන්කම ඇති කරගෙන ලෝකයට පිවිසීමේ සැලැස්ම ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරමු.

එහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා...
"ධීවර ප්‍රජාවට ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ ප්‍රශ්න විසඳීමට අපි කැප වෙනවා. භූමිතෙල් මඟින් ක්‍රියාත්මක වන ධීවර බෝට්ටු විසිහත්දහසක් පමණ අපේ රටේ තිබෙනවා. භූමිතෙල් මිල ගණන් වැඩි වීම නිසා ධීවර ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව තිබෙනවා. ඒ නිසා අනෙක් පැත්තෙන් පාරිභෝගික ජනතාවට අඩුමිලට මාළු ලබාදීමටත් නොහැකි වී තිබෙනවා.
මේ නිසා පිරිවැය අවම කර කරගැනීම සඳහා අපි නවීන උපකරණයක් ඉදිරියේදී හඳුන්වා දෙන්න සූදානම්. බැටරි මගින් ක්‍රියාත්මක මේ උපකරණය මගින් අඩු මුදලකට මසුන් ඇල්ලීමට හැකි වෙනවා. ඉන්ධන මිල වැඩි වීම වගේම මුහුදු සම්පත් අවම වීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්නේ අඩුවකුත් දක්නට තියෙනවා. නිසි කළමනාකරණයක් ඇතිව මුහුදෙ සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. එමගින් මුහුදු සම්පත් ආරක්ෂා කර ගන්නා අතරේ ජීවනෝපාය නංවන්න හැකියාව ලැබෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය සම්බන්ධයෙනුත් අපි යම් යම් පියවර ගනිමින් තිබෙනවා. ඉදිරි වසර තුළ මේ ඉලක්ක සපුරා ගැනීම අපේ උත්සාහයයි."

එහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා...
" මේ බහුදින යාත්‍රාවලින් අපට ලැබෙන මත්ස්‍ය සම්පත අපි නිවැරදිව නිසියාකාරව නෙළා ගන්නවාද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. මේ සියලු ගැටලු ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි නිවැරදි කළමනාකරණයක් නිරත වීම. මේ අහිංසක ධීවර ජනතාව වෙනුවෙන් රටේ ආර්ථිකය වෙනුවෙන් ඉතා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අද මේ ධීවර ක්ෂේත්‍රයේ මේ ධීවර ජනතාව ඉතාම දුක්ඛිත විදිහට නෙලාගන්න මත්ස්‍ය සම්පත මොනතරම් නාස්ති වෙනවද. එහි ගුණාත්මක භාවය හීන වෙලා තිබෙනවා ද. එවැනි අවස්ථාවක දි තමයි අපට ලෝක ආහාර සංවිධානයේ හයිය දෙන්නෙ.

මේ වෙනකොට ධීවර ජනතාවගේ සුබසාධනය පිළිබඳ වගේම ඔවුන්ගේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳවත් ධීවර ජනතාවගේ සුරක්ෂිතතාවය පිළිබඳවත් රක්ෂණ ක්‍රමයක් සහ විශ්‍රාම ක්‍රමයක් හඳුන්වා දීලා ඒ ධීවර ජනතාවගේ දරුවන් වෙනුවෙන් ගිණුම් ක්‍රමයක් හඳුන්වා දීලා ධීවර ජනතාවගේ තියෙන ගැටළු ධීවර ජනතාව සමීපයටම ගිහිල්ලා විසඳීමට විශාල වැඩ කොටසක් මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යනවා. මත්ස්‍ය සම්පත් වල පසු හානිය වැලැක්වීම සඳහා මෙම නව ව්‍යාපෘතිය අපි හඳුන්වාදෙනවා. මෙය නියමු ව්‍යාපෘතියක්. මෙම නියමු ව්‍යාපෘතිය ධීවර ක්ෂේත්රය තුළ මේ රටේ ස්වර්ණමය යුගයක් අපට ඇති කරන්නට හැකියාව තියෙනවා."

රාජ්‍ය අමාත්‍ය වරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහකාර නියෝජිත නලින් මුණසිංහ, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (NERD) හි සභාපති මහාචාර්ය එස්. යූ. අධීකාරී ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.