කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටු වාර්තාවේ මූලික කෙටුම්පත අගමැතිට

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටු වාර්තාවේ මූලික කෙටුම්පත අද (2023.04.11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදුන්නේය.

කොට්ඨාශ සීමාවන් හා ජන සංඛ්‍යාවන් පිළිබඳව වූ නව සීමාවන් මෙම මූලික කෙටුම්පතේ සදහන්ව ඇති අතර එකී කෙටුම්පත ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම්වරුන්ටත්, දේශපාලන පක්ෂ ලේකම්වරුන්ටත් යොමු කිරීමට නියමිතව ඇත.

මේ වනවිටත් මෙම වාර්තාවට ඇතුල් කිරීම සදහා ආගමික නායකයින් හා විවිධ සංවිධානවල යෝජනා ඉදිරිපත්ව ඇත. කමිටු වාර්තාව සැකසීම සදහා එළැඹෙන අප්‍රේල් 30 දක්වා කාලය ලබා දී ඇති හෙයින් වාර්තාවට ඇතුළත් කිරීම සදහා ලැබෙන යෝජනා සම්බන්ධව ඒ වන තෙක් කරුණු සලකා බැලෙන බව කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරයි.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩි. එන්. රංජිත් අශෝක, කමිටුවේ සාමාජිකයින් වන, ජයලත් රවි දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ තවලිංගම් හා අයි.ඒ.හමීඩ්, නීති නිලධාරීනී ගයනි ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ද සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය