බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන වැඩි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉරානයෙන් ඉල්ලයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉරාන තානාපති හෂේන් අෂ්ඩාද්හි (Hashem Ashjazadeh) අතර හමුවක් 2022.08.18 කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු විය. එහිදී බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන වැඩි කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමට තානාපතිවරයා එකඟත්වය පළ කළේය.
ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු ධාරිතාව වැඩි කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ඇති කිරීමටත් ගෙන ඇති පියවර පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා එම ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුමකින් පොහොසත් ඉරානය තෙල් නිෂ්පාදනයේ බහුල අත්දැකීම් සහිත රටක් බැවින් එම ක්ෂේත්‍රයන්හි මෙරටේ ආයෝජන වැඩි කිරීමේ හැකියාවක් තිබෙන බව පෙන්වා දුන්නේය.
දෙරට අතර දීර්ඝ කාලීන සබඳතාවල තවත් වර්ධනයක් දැකීම සිය අපේක්ෂාව බව තානාපතිවරයා සඳහන් කළේය. ලබන සතියේ ඉරානය ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් පරිත්‍යාග කරන බවද හෂේන් අෂ්ඩාද්හි මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට ඉරාන තානාපති කාර්යාලයේ ආර්ථික අංශයේ ප්‍රධානී කේ. සොහායිල් මහතා ද අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතාද සහභාගී වූහ.