ශ්‍රී ලංකාව නිවැරදි ගමන් මගක් අනුගමනය කරයි. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් (ASG), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර පරිපාලක සහ UNDP ආසියා සහ පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂෙවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන සංවර්ධනය සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය ප්‍රකාශ කළාය.

කන්නි විග්නරාජා මහත්මිය 2023.01.03 දින කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් ධූරයට උසස්වීමක් ලැබීම සම්බන්ධයෙන් ඇයට සිය සුබපැතුම් එක් කළේය.

"ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි දිශාවට ගමන් කිරීම අපි අගය කරනවා" යැයි පැවසූ කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට සහතික වූවාය.
තිරසාර සංවර්ධන ඉලක්ක, හරිත ආර්ථිකය, සමාජ සහජීවනය සහ සමාජ ආරක්ෂණය පිණිස වූ සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇය මෙහි දී සාකච්ඡා කළාය.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සහ දිගුකාලීන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන වැඩසටහන් පිළිබඳව ඇයව දැනුවත් කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ ප්‍රගතිය ද පෙන්වා දුන්නේය. රැඳවියන් වැඩි පිරිසක් නිදහස් කර ඇති බවත්, බිම් බෝම්බ ඉවත් කර ඇති බවත්, කෘෂිකාර්මික හා ධීවර ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කර ඇති බවත් එතුමා වැඩිදුරටත් පැහැදිළි කළේය.

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය පැවසුවේ විශේෂයෙන් සමාජ-ආර්ථික ප්‍රගමණය සඳහා වූ වැඩසටහන් පිළිබඳ පසු විපරම් කිරීම කෙරෙහි අවධානය යොමු කිරමින් රටේ ප්‍රමුඛතා පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වෙතින් ශ්‍රී ලංකාවට සහය වීමේ නව මාර්ග ගවේෂණය කිරීම ඇයගේ ඉලක්කය බවයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත මලින් හර්විග් සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.