අගමැති ජාත්‍යන්තර වේදිකාවල සහාය ගැන කියුබාවට ස්තූතිය පල කරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් පෙනී සිටීම ගැන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබාවට ස්තූතිය පල කළේය.

තමාට සුභ පැතීමට පැමිණි කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාෂෙලෝ ගොන්සාලිස් ගැරිඩෝ (Andres Marshelo Gonzales Garrido) මහතා හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා දෙරට අතර පවත්නා ගැඹුරු මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට තමා කැපව සිටින බව සඳහන් කළේය. දෙරට අතර කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ නව නිපැයුම් බෙදා ගැනීමේ අවශ්‍යතාවය අගමැතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ මධ්‍යස්ථානයේ සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව තමා සතුටට පත් වූ බව පැවසූ තානාපතිවරයා තම රටේ වගා කිරීම සඳහා පොල් පැළ ලබා ගැනීමට තමා කටයුතු කරගෙන යන බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන, සත්ත්ව ගොවිපල ආදී ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඉඩකඩ තිබෙන බව තානාපතිවරයා පැවසීය.

මෑතක් වනතුරු කියුබා ශ්‍රී ලංකා මිත්‍ර සංගමයේ සභාපතිත්වය දරමින් දෙරට අතර මිත්‍රත්වය තර කිරීම සඳහා කළ සේවය වෙනුවෙන් තානාපතිවරයා අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතාට ස්තූතිය පල කළේය.

ශ්‍රී ලංකාව මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සහභාගී විය.