දිස්ත්‍රික් සංවර්ධන සැළසුම් කඩිනම් කරන්න... - අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙයි.

දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් නොකළ දිස්ත්‍රික් ලේකම්වරු කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කළ යුතු බව පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව 2023.05.12 දින අරලියගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම, එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ...

"දිස්ත්‍රික්කයේ ප්‍රමුඛත්වය දිය යුතු අංශ හඳුනා ගනිමින් හැකි ඉක්මනින් දළ දිස්ත්‍රික් සංවර්ධන සැළැස්මක් හෝ කඩිනමින් කමිටුවට යොමු කළ යුතුයි. ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන සැළසුම්, ක්‍රියාත්මක නොවන සැළසුම් හා සම්පත් පිළිබඳව තොරතුරු ඊට ඇතුළත් විය යුතුයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීම හා නොකැඳවීම සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වාර්තාවක් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත ලැබී තිබෙනවා. සංවර්ධන කමිටු සභාපතිවරු සමග සාකච්ඡා කර ආණ්ඩුකාරවරුන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු කැදවීමට පියවර ගන්න."

පළාත් පාලන ආයතනවල කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යාම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම කමිටුව ස්ථාපිත කෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ප්‍රසන්න රණතුංග, නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජානක වක්කුඹුර, ශෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, ආණ්ඩුකාරවරු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක ඇතුළු ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය