’ප්‍රොජෙක්ට් රන්’ සම්මානලාභී පාසල් සඳහා සම්මාන පිරිනැමේ

’අපෙන් රටට - රට නැගුමට’ යන තේමාව ඔස්සේ මදර් ශ්‍රී ලංකා භාරය මඟින් ක්‍රියාත්මක කළ ප්‍රොජෙක්ට් රන් වැඩසටහනේ ත්‍යාග ප්‍රධානෝත්සවය අද (2023.04.28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පාසලේ හෝ පාසල අවට ප්‍රජාවේ ගැටළුවක් හඳුනාගනිමින්, එම ගැටළුවට විසඳුම් ඉදිරිපත් කිරීමේ ව්‍යාපෘතියක් පාසල් දරුවන් හරහා ක්‍රියාත්මක කිරීම ප්‍රොජෙක්ට් රන් වැඩසටහන මගින් සිදුකෙරිණි.

සිසුන්ගේ දේශාභිමානය වර්ධනය කිරීම, නිර්මාණශීලිත්වය - ස්වාධීනත්වය - නායකත්ව හැකියාව - ව්‍යාපෘති කළමනාකරණ හැකියාව හා ව්‍යවසායකත්ව හැකියාව වැඩිදියුණු කිරීම , වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ගොඩනැගීමට සිසු පරපුරට අවබෝධය ලබා දීම යන කරුණු මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

එහිදී ප්‍රථම ස්ථානය දිනාගත් යාපනය මයිලනි සිව මහා විද්‍යාලය, දෙවන ස්ථානය දිනාගත් අම්/අල් - මස්හර් උසස් බාලිකා විද්‍යාලය, තෙවන ස්ථානය දිනාගත් නිකවැරටිය කු/ මහසෙන් ජාතික පාසල ඇතුළු ජයග්‍රහකයින් සඳහා අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන හා ත්‍යාග ප්‍රධානය සිදුකෙරිණි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන මඟින් 2021/22 වර්ෂයන් සඳහා පාසල් 150ක් පමණ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අතර ඉන් පාසල් 75ක් අවසාන වටයට තේරිණි. ඉන් පාසල් 2ක් විශේෂ සම්මාන හිමිකර ගත් අතර තවත් පාසල් 03ක් ජාතික මට්ටමින්ද, පාසල් 11 ක් පළාත් මට්ටමින්ද, ජයග්‍රහණ හිමිකර ගත්හ.

ශ්‍රී ලාංකික සිසු ප්‍රජාව තමාගෙන් රටට ඉටුවිය යුතු මෙහෙවර පිළිබඳව ගැඹුරින් සිතා ක්‍රියා කරන වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ගොඩනැගෙන්නට අත්දැකීම් ලබනු පිණිස R – Responsible Citizenship (වගකීම් සහිත පුරවැසිභාවය), U - Unity (එකමුතුකම), N – National Pride (ජාතිකාභිමානය) යන තේමා 3 ක් යටතේ මෙම වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.

මාතෘ භුමිය පිළිබඳව සුබවාදී සිතුවිලි ශ්‍රී ලාංකිකයන් තුල ජනිත කරවීමත්, මවුබිමට ආදරය කරන පුරවැසියන් ලෙස ගොඩ නැගෙන්නට පුළුල් ධනාත්මක ආකල්ප වර්තමාන දරු පරපුර තුල ජනිත කරලීමත්, සංවර්ධන ක්‍රියාදාමයේ සෘජු දායකත්වය සපයන්නට දේශීය මෙන්ම විදේශීය ශ්‍රී ලාංකිකයන් පෙළඹවීමත් ශ්‍රී ලාංකික අනන්‍යතාව මත සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකම, සහජීවනය ගොඩනැගීමත් පරමාර්ථ කර ගනිමින් දිගු කාලින ව්‍යාපෘතියක් ලෙස 2008 වර්ෂයේදී මදර් ශ්‍රී ලංකා භාරය ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්ථාවට අධ්‍යපන අමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්, මදර් ශ්‍රී ලංකා භාරයේ නිර්මාතෘ ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය