මැතිවරණ කොමිසමට පූර්ණ ස්වයං පාලන බලතල හිමියි...
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අද (2024.08.27) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී, ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, සිය නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය ලබා දුන් සහයෝගයට ස්තූතිය පළකළ අතර ඉදිරි ජනාධිපතිවරණය 2022 දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ප්රජාතන්ත්රවාදයට නව ජවයක් ලබා දෙන බව පෙන්වා දුන්නේය. ප්රජාතන්ත්රවාදී වටිනාකම්වලට ගරු කරමින්, නිවැරදි ආර්ථික ගමනකට මෙම මැතිවරණය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇතැයි ඔහු පැවසීය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රජයේ පූර්ණ කැපවීම ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවත් මැතිවරණවලට අදාළ සියලු තීරණ ගනු ලබන්නේ කොමිෂන් සභාව බවත් පෙන්වා දුන්නේය. ආණ්ඩුව අයවැය අවශ්‍යතා ප්‍රතිපාදන ලබා දී ඇති අතර ඉතිරිය කොමිෂන් සභාව විසින් සිදු කළ යුතුව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
යුරෝපා සංගමය මීට පෙර හය වතාවක් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර අවසන් වරට 2019 ජනාධිපතිවරණයේදී ඒ සදහා එක්ව ඇත. “මෙම වසරේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් යෙදවුම විශ්වසනීය, පාරදෘෂ්‍ය හා සියලුදෙනාගේ සහභාගීත්වය, කැපවීම තහවුරු කරන, සාමකාමී මැතිවරණයක් වනු ඇතැයි ද යුරෝපා සංගමයේ තානාපති කාර්මන් මොරේනා මහත්මිය පැවසුවාය.
මැතිවරණ ව්‍යාපාරය අනුගමනය කිරීම සඳහා යුරෝපා සංගමය නිරීක්ෂකයින් 26 දෙනෙකු රට පුරා යොදවනු ඇත. මැතිවරණය අවසන් වූ වහාම අතුරු වාර්තාවක් නිකුත් කෙරෙන අතර සම්පූර්ණ වාර්තාව ඉන් පසුව ඉදිරිපත් කිරීමට නියමිතය.
ආර්ථික තත්ත්වය පිළිබඳව ද දෙපාර්ශවය මෙහිදී සාකච්ඡා කළ අතර, ආර්ථික අර්බුදයේදී ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ අනෙකුත් යුරෝපීය රටවල් මුහුණ දුන් අත්දැකීම්වලින් ශ්‍රී ලංකාව පාඩම් ඉගෙන ගත් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
ස්පාඤ්ඤ ජාතික යුරෝපා සංගමයේ දූත මණ්ඩල ප්‍රධානී සචෙස් අමෝර්, අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතාගේ දේශපාලන ජීවිතය පිළිබඳව තමා බෙහෙවින් පැහැදුණු බවත්, ස්පාඤ්ඤයේ රජු විසින් 2012 දී එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පිරිනමන ලද “ඔර්ඩන් ද ඉසබෙල්” සම්මානය සිය රට පිරිනමන විශිෂ්ටතම සම්මානය බව ද ඒ මහතා සිහිපත් කළේය.
දූත පිරිසට නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක ඉන්ටා ලේස්, දේශපාලන විශ්ලේෂක, රැල්ෆ්-මයිකල් පීටර්ස් සහ මාධ්‍ය නිලධාරී මරේක් මරාකා (Marek Mraka) ඇතුළත් විය. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, උපදේශක සුගීස්වර සේනාධිර, සම්බන්ධීකරණ ලේකම් කලණ ගමගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය