ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථානවලට සහ ජනතාවට ලබාදෙන ත්‍යාගශීලී උපකාර පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් චීන බෞද්ධ ජනතාවට ස්තුතිය...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ චීන බෞද්ධයන් විසින් පරිත්‍යාග කරන ලද වියළි ආහාර ද්‍රව්‍ය අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙදාදීම වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදීය.


ශ්‍රී ලංකාවේ වෙහෙර විහාරස්ථානවලට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට උපකාර කිරීම සඳහා චීන බෞද්ධ ප්‍රජාව සිදු කරන පින්කම් පිළිබඳව ශ්‍රී ලංකාව සැමවිටම කෘතඥ වන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එවන් කුසල් ක්‍රියාවන් මගින් චීන ජනතාව සතුටෙදි මෙන්ම දුෂ්කර අවස්ථාවල දී ද ඔබ ළඟින් සිටින කල්‍යාණ මිත්‍රයන් බව ඔප්පු කර පෙන්වා තිබේ.

මෙම පුණ්‍යකර්මය සංවිධානය කිරීම පිළිබඳව කිරින්දේ අස්සජි හිමියන්ට, චීන තානාපති Qi Zhenhong මහතාට සහ ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයට ස්තුතිය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා කීය.

තානාපති Qi Zhenhong දෙරට අතර පැරණි මිත්‍රත්වය සිහිපත් කළ අතර චීන නායක මාඕ සේතුං සහ Zhou Enlai සමඟ සමීප සබඳතා පැවැත්වූ දිවංගත අමාත්‍යවරුන් වන R G සේනානායක සහ පිලිප් ගුණවර්ධන පිළිබඳව විශේෂ සඳහනක් කළේය.

ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී ජනතාවට තම රට සැමවිටම උපකාර කරන බව ඔහු පැවසීය.

උත්සවයෙන් පසු ප්‍රදේශයේ දිළිඳු ජනතාවට දිනපතා දිවා ආහාරය සපයනු ලබන ගංගාරාමයේ ප්‍රජා ආහාර මධ්‍යස්ථානය නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා එක් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති අජිත් ධර්මවර්ධන, ලේකම් අරුණ ද සිල්වා, ගංගාරාම දායක සභා සාමාජික ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරු ද සහභාගි වූහ.

අග්‍රාමත්‍ය මාධ්‍ය අංශය.