රාජ්‍ය නීතීඥයින්, ජනාධිපති නීතීඥයින් හිටියත් රාජ්‍ය ද්‍රෝහීන් බවට පත්කරපු උඩරට කිරුළේ තීරණය නිවැරදි කරන්න කවුරුත් මැදිහත් වී නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානය කරන සංකථන මණ්ඩපය ශාස්ත්‍රීය වේදිකාව (දෙවන පියවර) 2023.03.13 දින අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවෙදීය.

මෙවර “උඩරට කැරැල්ල සහ මුරුසි සිරකරුවන්” මැයෙන් ප්‍රධාන දේශනය පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් සිදුකරනු ලැබීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

එදා අත්අඩංගුවට ගත් අපේ ජාතික වීරවරයන්ට එරෙහිව නිකුත් කරපු නිවේදනයේ බරපතළ කමේ අනෙක් පැත්ත තමයි මේ අයගේ ජීවිත ආරක්ෂාවට එරෙහිව අපේ රටේ මුළු උඩරට ඉඩම් බ්‍රිතාන්‍යයන් සන්තක කරගත්තා.

මේ සිරකරුවන්ගේ සහ සියලු පවුල් වලත් පසුව ඔවුන් ජීවත්වෙන ගම් නියම් ගම් රාජසන්තක කළා. එය අපට තවම නිවැරදි කරගන්න බැරි වී තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත කියලා පනතක් ආවා. ඉන් පස්සෙ තවත් පනතක් ආවා. විදේශ රන් පවුම් වතු ජනසතු පනත කියලා. රන් පවුම් වතු ජනසතු කරන කොට මුරුසියේ කතාවේ එන උඩරට ඉඩම් අක්කරයක් රන් පවුමකට වත් නෙවෙයි විකුණලා තියෙන්නේ. සිළිමකට. සිළිම කියන්නේ ඒ කාලේ ඉතාම අඩුම මුදලක්. මෙය නිවැරදි කරන්න අපිට බැරිවුනා. දැන් බොහොම කාලයක් ගතවෙලා තිබෙනවා. නිවැරදි කළ යුතු දෙවැනි ගැසට් නිවේදනය නිවැරදි කිරීම ඉතාම වැදගත් වෙනවා.

ලංකාවේ ස්වභාවිකව අපේ රට ආරක්ෂා කරන මහා ජල කඳ තිබෙන කන්ද උඩරට ආරක්ෂා කළ යුතුයි. අපි මේ රටේ පහලින් කොන්ක්‍රීට් දදා වතුර රකින්න හදනවා. ඉහළින් සිදුවුණු ඒ මහා විනාශයට තවමත් නිවැරදි පියවරක් ගෙන නැහැ. දෙවැන්න උඩරට ජනතාවගේ උරුමය යළිත් ශක්තිමත් කරන්නට දෙපයින් නැගී සිටින ජනතාවක් ලෙස නැගී සිටින්නට අවශ්‍ය සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබිලා නැහැ.

එදා මුරුසියට ගෙනගිය අපේ සිරකරුවන් ලෙස යවන ලද මේ අයට ඒ දඬුවම් ප්‍රකාශයට පත් කරන්නට පුලුවන්ද කියන ප්‍රශ්ණය තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ කෙනෙක් තවම නම් අධිකරණයට ගිහිල්ලා නැහැ. මම ඒකයි කිව්වේ අපේ රාජ්‍ය නීතිඥවරු ජනාධිපති නීතිඥවරු ආදී ඉන්නවා. රාජද්‍රෝහීන් බවට පත් කරපු ඒ කිරුළේ තීරණය නිවැරදි කරන්න තවම නීතිමය වශයෙන් ක්‍රියාත්මක වෙලා නැහැ.

ඒ නීතිමය පැත්ත වශයෙන් අපි අපට තිබෙන මේ බලපෑම් සහ අද වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වයන් තුළ සලකා බැලීම වටිනවා කියලා මම හිතනවා.

උපක්‍රමශීලීව ජාත්‍යන්තර ගිවිසුමක දී ලංකාව නැමැති ඔප්පුව භාරදුන්නා ඉංග්‍රීසීන්ට. ඒක තමයි ඉංග්‍රීසීන්ගේ පැමිණීම. ලන්දේසින් හා ඉංග්‍රීසින් අතර ඇතිකරගත් එක් ගිවිසුමක්. නමුත් කන්ද උඩරට ජනතාව ආරක්ෂා කළ දේවල් අවසානයේදී ආක්‍රමණයන්ට හා කුමන්ත්‍රණයන්ට ගොදුරු වී ඇති තත්ත්වය මේ මුරුසි දිවයිනේ අපේ ජාතික වීරවරයන්ගේ කතාව ලියවෙන අවසාන කාල පරිච්ඡේදයේ සඳහන් වන ඉතාම වැදගත් කාරණයක්.

අපි මේවා ගැන මැදිහත් වෙන්න පුළුවන් ප්‍රමාණය හරි මැදිහත් වුනොත් අනාගත තරුණ පරම්පරාව ඉදිරියට ගෙන යයි. විවිධ සංවිධානවල ජේෂ්ඨයන් ඉතිහාසඥයන් එකතු කරපු තොරතුරු මත මෙය නිවැරදි කිරීම ජාත්‍යන්තරව පිළිගත් නැති තත්ත්වය නෙවෙයි තියෙන්නේ. අද එය නිවැරදි කිරීමට සිදුවන බව ඔවුන්පිළිගන්නවා.

මගේ ආදරණීය පියා පිලිප් ගුණවර්ධන මැතිතුමාවත් එන්, එම් පෙරේරා මැතිතුමාවත් කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාවත් ඉංග්‍රීසි ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණය කළා කියලා මාංචු දාලා බෝගම්බර හිර ගෙදරට ගෙනගියා. මමත් ගියා බලන්න. ඇහැලේපොළ මාතාව දරුණු වධ හිංසනයට ලක් වූ භූමියේ අයිනේම තියන ගොඩනැගිල්ලේ දේශපාලන සිරකරුවන් රාශියක් සිටියා.

සුදු ආණ්ඩුවට එරෙහිව කැප්පෙටිපොළ වීරයා, ගොන්ගාලේ ගොඩබන්ඩා, කුඩාපොල හාමුදුරුවෝ සාක්කි බංකුවට නැඟලා තමන්ගේ රට වෙනුවෙන් කිව්වේ අපේ නඩුඅහන්න උඹලට බලයක් නැහැ කියලයි. ඊලඟ දිනයට නඩුව කල් තිබ්බා. පහුවදා ඔවුන්ව රාජද්‍රෝහීන් හැටියට හිරගෙදරට යවන්න නියම කලා.

මුරුසි දූපතේ සිරබත් කෑ සිරකරුවන්ගේ කතා වගේම ඊට සම්බන්ධ පුද්ගලයින් වෙනුවෙන් ලංකාවේ විශ්ව විද්‍යාලවල ඉතිහාස පීඨයන් මේ ගැන සුවිශේෂ උනන්දුවක් දැක්වීම ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යවරයා හැටියට ඊට අදාලව කැබිනට් පත්‍රයක් ඉදිරිපත් කිරීමට මම ජනාධිපතිතුමාට කියලා අවස්ථාව ලබා ගන්නම්.

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ, යදාමිණී ගුණවර්ධන, උඩරට විරුවන්ගේ මී මුනුපුරන් ඇල්ලෙපොල පදනම, උඩරට පාරම්පරික රදළ සංසදය, මඩුගල්ල පදනම, කැප්පෙටිපොල පදනම, ඇහැලේපොළ පදනම, මාතලේ වීරවරයන් සිහිකිරීමේ පදනම, ජාතික සංවිධාන නියෝජිතයින්, සාහිත්‍යවේදීන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල , පාසැල්, දරුවන් සහ ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.