සුනිල් සරත් පෙරේරා සූරීන් අපේ බස සහ එහි අර්ථය සුභාවිත ගීතයට මුසුකොට වර්ධනය කළා.... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2023.03.20 දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ පැවති ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා සූරීන්ගේ මතක නිමිනය ග්‍රන්ථය එළි දැක්වීමේ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

සුනිල් සරත් පෙරේරා අපේ රටට පුදුමාකාර ආදරයක් ඇති කෙනෙක්. ඒ ආදරය නිසාම අපේ බස සහ එහි අර්ථය වර්ධනය කළා. විවිධ අවස්ථාවල විවිධ ක්ෂේත්‍ර වල නිර්මාණ කරන්නට පුළුවන්කම පිළිබඳ එතුමාට තිබුණේ විශේෂ දක්ෂතාවයක්. ඒඅත්දැකීම් සම්භාරය අපේ සංස්කෘතියට සාහිත්‍යයට මෙන්ම විවිධ ක්ෂේත්‍රවලින් දායාද කරන්නට පුළුවන් වීම සුවිශේෂයි.
සුනිල් සරත් පෙරේරා මහතා මුලින්ම මුණ ගැහෙන්නේ මම පාසල් යන කොල්ලා කාලේ. රෙදි මෝල ළඟින් මම බස් එකෙන් බැහැලා කිරුළපනට යනවා. එහෙම යනකොට සමහර දවස්වලට සුනිල් සරත් පෙරේරා මායා මාවතේ පාර අයිනේ ඉන්නවා. අපි නැවතිලා කතා කරලා යනවා. ඒ කාලේ වැඩියෙන් ඇහුවේ කිව්වේ ඒ අවට තිබෙන පොදු ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙවෙයි. භෞතික වස්තූන් වලට වඩා ජාතියට අයත් වස්තුව ගැන කතා කළා.

ඒ කාලෙත් භාෂාවට දුන්නු පැහැදිලි විනය හා හැසිරවීමේ දී තිබෙන ගැඹුර අපට බොහෝ දේ ඉගැන්වීමට සමත් වුණා. අපේ බස ආරක්ෂා කර ගන්නත් යොදන දහිරිය අගය කළ යුතුයි. ජාතියේ ජීවය බඳු දායාදයක් කළ කෙනෙක් වෙනුවෙන් මෙතැනට පැමිණෙන්නට ලැබීම අගය කරනවා. ඔහු අපේ බස සහ එහි අර්ථය සුභාවිත ගීතයට මුසුකොට ජාතියට ජීවය බඳු දායාදයන් එක්කළා.

අපේ රටට ලැබුණු සුවිශේෂ ජාත්‍යන්තර සමුළුවකට ඔබතුමායි මමයි එක්ව මීට අවුරුදු විස්සකට විතර කලින් කටයුතු කළා. ඕසෝන් ස්ථරය පිළිබඳව . ඒ කාලෙත් රටවල් එකසිය හතළිහක් පමණ ඒ සමුළුවට එක්ව තිබුණා. ඒ කාලේ ඉදිරිපත් කළ තෙත්බිම් පිළිබඳ සුවිශේෂ යෝජනාව ලංකාව වෙනුවෙන් මුළු සමුළුවම පිළිගත් අවස්ථාව මට සිහිපත් වෙනවා. අදත් ලොව පරිසර වංශ කථාවේ කොළඹ ප්‍රඥප්තිය මම එදා පරිසර ඇමති හැටියට ඉදිරිපත් කළාට එය නිර්මාණය කළේ සුනිල් සරත් පෙරේරා. ඒ පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඕසෝන් ස්ථරය විනාශවෙමින් යනකොට අපි ජීවත් වීම අමාරු වෙන්නට සිදුවෙනවා කියන දේ කියා පාන්නට ඒ අවස්ථාවේදී හොදීන් මග පෙන්නුවා.

ඔබතුමාගෙන් අප ලබාගත් හයිය බොහෝ දුර ගෙනියන්නට තැන්පත් කරන්නට පුළුවන්කම ලබා දුන්නා. දන්ත ධාතුන් වහන්සේ ගැන ඔබ ලියූ ගීතය අදත් රටත් ලොවත් හරහා ගායනය කරන කොට අපට ඔබ මතක් වෙනවා. එය ලොවටම ප්‍රාණයක් බඳු ඉදිරිපත් කිරීමක් වුණා.

ජලය විදුලිය බවට පරිවර්තනය කරන ජාතියේ මීළඟ දායාදය උමා ඔය ව්‍යාපෘතිය තව සති කිහිපයකින් ජනතා අයිතියට පත්වීමට නියමිතයි. මම උමාඔය ව්‍යාපෘතිය පරික්ෂා කරන්නට පසුගිය සතියේ ගියා. අපි ඒ ගොඩනැගෙන ආකාරය ගැන කතා කළා. එවැනි අවස්ථාවල ඔබ වැනි සොඳුරු මිනිසුන්ගේ වටිනාකම අපි සාකච්ඡා කරමින් පැමිණියා. සිංහල බසට පමණක් නොව අපේ රටේ හැම ගමක්ම ගැනම එලෙස පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් වීමම ජාතියේ වාසනාවක්.

මෙම අවස්ථාවට තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සභාපති ඩබ්ලිව්. බී ගනේගල, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ ඇතුළු විද්වතුන් සහ කළාකරුවන් රැසක් සහභාගි වූහ.


අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.