අර්බුදයෙන් නැගී සිටීම උදෙසා නව අත්හදා බැලීම් සමඟ නිලධාරීන් ජව සම්පන්නව නොබියව ඉදිරියට ගමන් කළ යුතුයි.- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) අද (2023.01.25) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ රාජ්‍ය කළමණාකරණ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
අද දිනය ඔබේ වෘත්තීය සහ ශාස්ත්‍රීය ජීවිතයේ සන්ධිස්ථානයක් වන බවට සැක නැත. එබැවින් ඔබගේ සාර්ථකත්වය ජාතියේ ජයග්‍රහණයක් බවට පත්වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම යෝග්‍ය වේ. ජාතියක අනාගතය එහි පාලන තන්ත්‍රය මත රඳා පවතී. රාජ්‍ය කළමනාකරුවන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප ජාතියක වර්ධනය, තිරසාර බව සහ අවදානම් අවස්ථාවන්ට ඔරොත්තු දීමේ හැකියාව සඳහා බෙහෙවින් ඉවහල් වේ. ආර්ථික අර්බුදයෙන් මිදීමට උත්සාහ කරන ජාතියකට එය විශේෂයෙන් වැදගත් වේ.

ආර්ථික අර්බුදය විසින් සමාජයේ පවතින අසමානතාවයන් තවත් පුළුල්කොට ඇති අතර පවතින ඛේදනීය තත්වය තවත් උග්‍ර කර ඇත. කඩාවැටුණු ආර්ථිකයක කටුක යථාර්ථයන්ට අප සියල්ලන්ම ගොදුරු වී සිටියදී, අවදානමකට ලක් වූ මිනිසුන් හට දරුණු ප්‍රතිඵලවලට මුහුණපෑමට සිදුවිය.

වර්තමානයේ ඇතැම් රාජ්‍ය සේවකයන් තුළ උදාසීනත්වයක් දක්නට ලැබෙන්නේ දක්‍ෂතා නොමැතිකම නිසා නොව කාලයක් තිස්සේ රාජ්‍ය සේවය පිළිබඳ ඇති වූ ආකල්ප වෙනස්වීම සහ තෘප්තිමත් භාවය හීනවීමයි.
රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය පහත වැටීමට හේතු වන කරුණු අප අවබෝධ කර ගත යුතු අතර, ඔවුන්ගේ අඛණ්ඩ සංවර්ධනය මෙන්ම ගුණාත්මක නිමැවුම් ලබාදෙන බවට සහතික කිරීම සඳහා පුහුණු වැඩසටහන් නිරන්තර වෙනස් කම්වලට භාජනය කළ යුතුය.

තරුණ නිලධාරීන්ට මගේ උපදෙස නම් ඔබ අලුතින් ලබාගත් දැනුම රටේ සංකීර්ණ සංවර්ධන ගැටලු විසඳීමට යොදා ගතයුතු බවයි. මෙම උපාධිධාරීන් ප්‍රාදේශීය පරිපාලනයේ සිට සෞඛ්‍ය සහ ජාතික ආරක්‍ෂාව දක්වා විවිධ ක්ෂේත්‍රවලට අදාළ වීම ගැන මම සතුටු වෙමි. අනාගත අභියෝගවලට මුහුණ දීමේදී ඔබේ වගකීම් ඉටුකරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. පුරෝගාමී අදහස් සෑම විටම නවකයන්ගෙන් පැමිණ ඇති බව සිහි තබා ගන්න.
ඔබ ශාස්ත්‍රපති උපාධිය සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා සූදානම්වන අතරතුර පර්යේෂණ අධ්‍යයන සහ පැවරුම් රාශියක් සම්පූර්ණ කර ඇත. අද අප අත්විඳින බොහෝ සංකීර්ණ සංවර්ධන ගැටළු සඳහා ඔබ සංවේදී ප්‍රතිචාර දක්වනු ඇති බව මට විශ්වාසයි. ඔබගේ සියලු පර්යේෂණ සොයාගැනීම් ක්‍රියාවට නැංවීමට දැන් ඔබට කාලයයි.

ඇත්ත වශයෙන්ම, අභියෝගයකින් තොරව ජයග්‍රහණ ලබාගෙන නොමැත. රාජ්‍ය කළමනාකරණයේ නැවුම් උපාධිධාරීන් ලෙස ඔබට මුහුණපෑමට වන අභියෝග පෙරට වඩා දෙගුණයක් වි ඇත. පළමුව, නායකයින් වශයෙන්, ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඔබ වෙහෙස මහන්සි වී වැඩකළ යුතුය . ඊට සමගාමීව, ක්‍රියාවලිය, මානව සම්පත් සහ ආයතනික පරිවර්තනය හරහා රාජ්‍ය අංශය සුමටව ක්‍රියාත්මක වන බවට ඔබ විසින් සහතික කළ යුතුය. උත්සාහවත් නොවුවන්ට කිසිදු වැඩක් සාර්ථකව සිදු කළ නොහැක. එහෙත් මම ඔබ ගැන විශ්වාස කරමි. ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුමෙන් සන්නද්ධ වූ ඔබ සියලු අභියෝග ජය ගන්නා බවට සැක නැත.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එච්.කේ.ඩී.ඩබ්. හපුහින්න, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම්. එන්. රණසිංහ, SLIDA අධ්‍යක්ෂ ජනරාල් පී. ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ මහත්මිය ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක් වූහ.