නව්‍ය කෘෂිකාර්මික දැනුම, තොරතුරු තාක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහනය සහ සංචාරක යන ක්ෂේත්‍ර සදහා නෙදර්තන්තය වැනි රටවල ආයෝජන වර්තමානයේ දී ශ්‍රී ලංකාවට වඩා වැදගත්.... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

නව්‍ය කෘෂිකාර්මික දැනුම, තොරතුරු තාක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහනය සහ සංචාරක යන ක්ෂේත්‍ර සඳහා නෙදර්තන්තය වැනි රටවල ආයෝජන වර්තමානයේ දී ශ්‍රී ලංකාවට වඩා වැදගත් වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

2022.10.27 දින අරලියගහ මන්දිරයේදී නව නෙදර්ලන්ත තානාපති ( Bonnie Horbach) බොනී හෝර්බච් මහත්මිය හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

යටිතල පහසුකම් සංවර්ධනය සහ කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා නෙදර්ලන්තය ලබාදී ඇති සහය පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා මෙහිදී තානාපතිවරියට ස්තූතිය පලකළ අතර මෙරට සියලු ග්‍රාමසේවා වසම් වල රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව ද පැහැදිලි කළේය.

තොරතුරු තාක්‍ෂණය, සංචාරක කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ශ්‍රී ලංකාවට විශාල විභවයක් ඇති බවත් ගෝලීය ආර්ථික තත්ත්වය වත්මන් දුෂ්කර අවධියෙන් මිදීමෙන් පසු තම රට තවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ඇති බවත් නෙදර්ලන්ත තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය. තම රට නව්‍ය කෘෂි තාක්‍ෂණයෙන් ඉදිරියට ගොස් ඇති බැවින් නෙදර්ලන්ත විශේෂඥතාව ශ්‍රී ලංකාවට ලබාදිය හැකි බවත් නෙදර්ලන්තයේ බොහෝ ප්‍රදේශ මුහුදට සමීප වීමත්, භූමිය ලවණ ජලයෙන් සමන්විත වන නිසාත් නෙදර්ලන්ත විද්‍යාඥයන් ලවණ සහිත ඉඩම්වල වැවිය හැකි නව අර්තාපල් ප්‍රභේදයක් නිපදවා ඇති බවත් කී නෙදර්ලන්ත තානාපතිවරිය මුහුදට ආසන්න ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර එම අර්තාපල් වගාව ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට අර්තාපල් බීජ ලබා දිය හැකි බවද සඳහන් කළේය.

දේශගුණික විපර්යාස, වෙළෙඳ හා වාණිජ කටයුතු, වරාය සංවර්ධනය සහ ඒකාබද්ධ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව සඳහා වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.තානාපතිවරිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික වූයේ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන කාර්යය වන බවයි.