පාකිස්ථානය ශ්‍රී ලංකාවට දිගටම සහය දෙන බව සහතික කරයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා පාකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් උමර් ෆාරුක් බර්කි (Umar Farooq Burki) මහතා අතර හමුවක් 2022.08.17 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

දීර්ඝ කාලීන ශක්තිමත් මිත්‍ර සබඳතාවක් සහිත ශ්‍රී ලංකාවට සිය රටේ සහයෝගීතාව දිගටම ලැබෙන බව මහ කොමසාරිස්වරයා සනාථ කළේය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර වේදිකාවලදී නිරන්තරයෙන් පෙනී සිටීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පාකිස්තානය වෙත කෘතවේදීත්වය ප්‍රකාශ කළේය. වාණිජ, ආයෝජන, අධ්‍යාපන, තාක්ෂණික, සංචාරක හා සත්ත්ව ගොවිපලවල් සහ කිරි නිෂ්පාදන මධ්‍යස්ථාන ආදී ක්ෂේත්‍රයන්හි සබඳතා වර්ධනය කර ගැනීමේ හැකියාවන් ගැන දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

ලාංකික බෞද්ධයින්ට තක්ෂිලාව ඇතුළු පෞරාණික බෞද්ධ වන්දනා මධ්‍යස්ථාන වලට සංචාරයේ යෙදීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සහභාගී විය.