ඒකාබද්ධ ඇඟලුම් කම්හල් සංසදයේ නියෝජිත පිරිසක් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් පසුගියදා කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

පවතින වාතාවරණය යටතේ ඇඟලුම් අපනයනකරුවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව ස්තුතිය පුද කළ අග්‍රාමාත්‍යවරයා කර්මාන්තයේ දියුණුවට රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව පැවසීය .
දේශීය හා ජාත්‍යන්තරව ආර්ථික පසුබෑමක් පැවතියත් අපනයන වර්ධනයක් පෙන්නුම් කිරීම ගැන අග්‍රාමාත්‍යවරයා ඔවුන් වෙත කෘතවේදීත්වය පළ කළේය. ලබාදී ඇති පහසුකම් විධිමත් කිරීමට රජය ක්‍රියාකරන අතර ඇඟලුම් රටේ වැදගත් කර්මාන්තයක් ලෙස තහවුරු වී ඇති බැවින් වැඩි විදේශ ආයෝජන ලබා ගන්නා ලෙස ඉල්ලීම් කළේය. ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම සහ තවදුරටත් විවිධාංගීකරණය ගවේෂණය කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
සංසදයේ සභාපති ෂරාද් අමලීන් මහතා මෙහිදී අදහස් දක්වමින්, ඇතැම් රාජකාරි, සහ භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධ ගැටලු පැහැදිලි කළේය. විවිධ ඉදිරිපත් කිරීමේ ගාස්තු, බලශක්ති හා ප්‍රවාහනය හා සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට රජයේ මැදිහත්වීම අවධාරණය කළේය. රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමට වැඩි වෙළඳ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වෙනත් රටවල් සමග තරග කිරීමට එය වැදගත් වන බව පැවසීය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ඒකාබද්ධ ඇඟලුම් කම්හල් සංසදයේ ප්‍රධාන නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.