ඉන්දු - ලංකා සිංහල - දෙමළ සබඳතා තර කළ සීතා අම්මාන් කෝවිල.

වාල්මිකීගේ රාමායණය ඉන්දු ලංකා අනාදිමත් පුරාවෘත්තයන් සටහන් කරයි. දෙරට පුරා විසිරී ගිය එහි ජනප්‍රවාදයන් අතර නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ප්‍රධානතම ස්ථානය ගනී.

දෙමළ හින්දු ජනතාවගේ වන්දනාමානයට පාත්‍රවන මෙම ස්ථානය සිංහල ජනතාව ද පැදකුණු කරයි. මෙය ජාතික හා ආගමික සමගිය සදහා වූ තෝතැන්නකි.

සීතා අම්මාන් කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා පසුගිය දා නුවරඑළියේ, සීතාඑළිය, සීතා අම්මාන් කෝවිලට ගියේ විශාල ඉන්දීය දුත පිරිසක් සමඟය.

දෙරටේම බැතිමතුන් සඳහා වූ භාවනා මධ්‍යස්ථානය ඉදිකිරීම් ආරම්භ කිරීම එහිදී සිදු කෙරිණී.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

"සාමය දයානුකම්පාව සහජීවනය ශක්තිමත් කරමින් මිනිස් සිත් නඟාසිටුවීමට භාවනාව උපකාරී වනවා. අතීතයේ සිටම ආගමික ඉගැන්වීම් මානව සංවර්ධනය කෙරෙහි විශේෂ බලපෑමක් එක් කළා. සාමය සහ ඉවසීමේ පණිවිඩය මිනිස් මනස තුළ වර්ධනය කිරීමේ ධනාත්මක මාර්ගය භාවනාවයි. හින්දු බැතිමතුන් ලොව උසම කඳුවැටිය වන හිමාලය කඳු පාමුල භාවනායෝගීව වැඩ සිටි. එමෙන්ම ශ්‍රී ලංකාවේ උසම කඳු වැටිය වන පිදුරුතලාගල කඳු පාමුල ඉදිවන මෙම නව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය ලෝක ජනතාවගේ මානව සංවර්ධනයේ ප්‍රමුඛ ස්ථානයක් බවට පත් වනු ඇති. මෙය ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සබඳතාවයේ සංකේතයක්ද වනු ඇත.

මෙරට බුදුදහම හා හින්දු ආගම සමාජයට ධනාත්මක හා සදාචාරාත්මක වටිනාකම් එක්කොට තිබෙනවා. මෙය ඉන්දු ලංකා, සිංහල දෙමළ සහයෝගිතාවේ සංකේතයක් වනු ඇති.

මේ සඳහා සහාය ලබා දීම පිළිබඳව ඉන්දියානු දානපතියන්ට ස්තුතිවන්ත වෙනවා. මෙය හුදු මූල්‍ය ආධාරයක් පමණක් නොවේ. භාවනාව තුළින් මනස වර්ධනය කිරීම මානසික, ශාරීරික ප්‍රගතියට මෙන්ම මානව ගුණධර්ම සවිමත් කිරීමට ද ඉවහල් වෙනවා. ඉන්දු ලංකා මිතුදම සුවිශේෂයි. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමටද ඉන්දීයාව අපට විශාල ශක්තියක් වුණා."

මෙහිදී අදහස් දැක් වූ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා...

"රාම් චරිත් මානස්, රාමායණය, භගවත් ගීතාව තුළින් ශිෂ්ටාචාරයේ ප්‍රගමනයට කෙරුණු සේවාව ඉදිරියට ගෙනයාමටත් ශිෂ්ටාචාරයේ සවිමත් රැහැන් තුළින් බැදුණු ඉන්දු - ලංකා මිතුදම තවත් ශක්තිමත් සහ අධ්‍යාත්මික වශයෙන් ගුණාත්මක කිරීමටත් මෙම සීතා අම්මාන් කෝවිල නව භාවනා මධ්‍යස්ථානය ප්‍රයෝජනවත් වනවා. "

මෙහිදී අදහස් දැක්වූ ඉන්දියානු රොටරි සමාජයේ ප්‍රදීප් ජෙයින් මහතා.

" ශ්‍රී ලංකාවේ නිදහස් සටනට පමණක් නොව භාරතයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයට සහභාගි වූ පරපුරකට අයත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මෙම භාවනා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමට සුදුසුම ජන නායකයෙක් බව මගේ හැගීමයි."

මෙහිදී අදහස් දැක්වූ සීතා අම්මාන් කෝවිල් භාරකාර මණ්ඩලයේ සභාපති වී. රාධක්‍රිෂ්ණන් මහතා..

"මෙම මධ්‍යස්ථානය මෙරට ජනතාවගේ පමණක් නොව භාරතීය සහ අනෙකුත් ජාතීන්ට අයත් ජනතාවගේ ධනාත්මක සිතුවිලි හා සදාචාරාත්මක වටිනාකම් ඇති කිරීමට හේතුවක් වනු ඇති."

මෙහිදී මුල්දින කවරයක්ද නිකුත් කල අතර, මෙම අවස්ථාවට පූජ්‍ය නුවරඑළියේ චන්දිම හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, යදාමිණී ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. පුත්‍රසිගාමිනී, ප්‍රදේශවාසීන් හා දෙස් විදෙස් බැතිමත්හු එක්වූහ..

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය