කාන්තාවන් සවිබල ගන්වන බැංකු ක්‍රමයක ආරම්භයක් කරා.. "කාන්තාවන් සවිබල ගන්වමින්, බැංකු ක්ෂේත්‍රයට කාන්තාවන් ආකර්ශනය කර ගැනීමට නව දිරිගැන්වීම් අවශ්‍යයි" - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

විදිමත් අයුරින් ක්‍රියාත්මක බැංකු සේවාව සඳහා කාන්තාවන් ආකර්ශනය කර ගැනීමට නව දිරිගැන්වීම් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2023.03.07 දින අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන්, විධායක නිලධාරීන් අමතමිනි.

"මෙම ක්‍රමවේදය ඔස්සේ ආර්ථිකයේ නාගරික, ග්‍රාමීය, වතු, කාන්තා භූමිකාව ශක්තිමත් කිරීමට හැකියි. එමෙන්ම අධික පොලි අනුපාත අයකර කාන්තාවන් සූරා කන අවිධිමත් ණය දෙන්නන් ගෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීමට ද මෙය ඉවහල් වේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම වතුකරයේ කාන්තාවන් සඳහා සහන ණය යෝජනා ක්‍රම පුළුල් කළ යුතුයි.

බැංකු ක්‍රමය තුල විධිමත් ලෙස නව තාක්ෂණික පහසුකම් සලසමින්
ග්‍රාම නිලධාරි වසම් දාහතර දහසකට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක ආහාර සුරක්ෂිතතාව හා ග්‍රාමීය පුනර්ජීවන යෝජනා ක්‍රමයට බැංකු ක්ෂේත්‍රයේ සහයෝගය හිමි විය යුතුය. මෙම වැඩසටහන සඳහා මාර්ග සිතියමක් සකස් අත්‍යවශ්‍යයි. ආර්ථික අර්බුදය පැවති සමයේ ඉටුකරන ලද කාර්යභාරය පිළිබඳව අප සියලු බැංකුවලට ස්තුතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහිදී පැවසුවේ නව ආකර්ෂණීය යෝජනා ක්‍රම ප්‍රකාශයට පත්වීමෙන් පසු එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය ආරක්ෂාව සහ ඇපකර අවශ්‍යතා පිළිබඳ ගැටළු විසදීමට මහ බැංකුවට හැකි බවයි.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරමින් ග්‍රාමීය ප්‍රදේශවලට බැංකු කටයුතු ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා දායකත්වය ලබාදී තිබේ. දිවයින පුරා ඇති බැංකු ශාඛා දහස් ගණනකට මෙම ඉලක්ක ගත කාන්තාවන් මිලියන කීපයක් ගිණුම් හිමියන් ලෙස එක් කර ගැනීමෙන් එම බැංකුවල කාර්යක්ෂමතාව ද පුළුල් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ සමුර්දි සහන ,විශ්‍රාම වැටුප් ඇතුළු රජයේ සුභසාධන පහසුකම් ජනතාවට කඩිනමින් ළඟා කිරීමට බැංකු සිය ජාල කටයුතු භාවිතා කළ යුතු බවයි. පවතින විදුලි සන්දේශ අවකාශය digital මාර්ගගත බැංකුකරණය පුළුල් කිරීමට භාවිතා කළ හැකි බවද ඒ මහතා කීවේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක තෙන්නකෝන් රුසිරිපාල, මුදල් අමාත්‍යාංශය,මහ බැංකුව, රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු නිලධාරිහු මෙම අවස්ථාවට එක්වූහ.