ඉපැරැණි තායිලන්ත - ශ්‍රී ලංකා බෞද්ධ සබඳතා නව ඉහළ තලයකට පැමිණ තිබෙනවා... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී තායිලන්ත බෞද්ධයන් විශාල පිරිසක් බෞද්ධ භික්ෂූන් ලෙස පැවිදි කිරීමත් සමඟ ශතවර්ෂ ගණනාවක් පුරා පැවති ආගමික බැඳීම් නව ඉහළ තලයකට පැමිණෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn) 2024.05.17 දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම හමුවේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ අමාත්‍යවරයාට අග්‍රාමාත්‍යවරයා සිය සුභාශිංසන පළ කළේ ය.

දෙරට අතර බෞද්ධ සම්බන්ධතාවයෙන් බැඳී පවතින දීර්ඝ කාලීන සහ සුහද සබඳතා අග්‍රමාත්‍යවරයා විසින් යළිත් අවධාරණය කරනු ලැබීය.

නව නිදහස් වෙළඳ ගිවිසුම මගින් දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමට හැකි වනු ඇතැ යි තායිලන්ත තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ධීවර ක්ෂේත්‍රයේ නව හවුල් ව්‍යාපාර පිළිබඳ සොයා බැලීම සඳහා තායිලන්තයේ ඉහළ මට්ටමේ ආයෝජකයන් කණ්ඩායමක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ලබන සතියේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට තවත් තායිලන්ත කණ්ඩායමක් පැමිණෙන බවත් ඔහු පැවසී ය. විදුලිය නිපදවීම සඳහා පාවෙන සූර්ය පැනල සවි කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා ඔවුන් දැදුරුඔය සහ යාන් ඔය ජලාශ නැරඹීමට ද නියමිත ය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ තායිලන්ත තානාපති කාර්යාලයේ උපදේශක ප්‍රංටිප් කොන්ග්‍රිදිසුක්සකෝර්න් (Prangtip Kongridhisuksakorn) ද එක් ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය