අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයන්ට අයවැයෙන් වෙන් කරන මුදල ඉහළට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරි මාස හතර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (09)‍් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා විසින් ප්‍රථමවරට ඉදිරිපත්කරන ලද සං‍ශෝධිත අයවැය කෙටුම්පතේ සුවිශේෂී ලක්‍ෂණයක් ලෙස සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර වෙත කෙරෙන ප්‍රතිපාදන ඉහළ නැංවීම පෙන්වා දිය හැකිය. මීට අමතරව ජනාධිපති හා රාජ්‍ය ආරක්ෂාව යන ශීර්ෂ යටතේ ද වෙන්කෙරෙන ප්‍රතිපාදන වැඩි කිරීමට කටයුතු කර තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහා වන ප්‍රතිපාදන රුපියල් බිලියන 3.76 කින් වැඩි කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 248 ක් දක්වා වැඩි කොට තිබේ. විසර්ජන ගිණුමට අනුව රාජ්‍ය පරිපාලනය සඳහා වන පුනරාවර්තන වියදම් වෙනුවෙන් ද රුපියල් බිලියන 682 ක් වෙන්කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 212 ක මුදලක් වෙන් කර තිබේ.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 9.3 ක් වෙන් කිරීමට කටයුතු කර ඇති අතර මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 467 වෙන් කිරීමට පියවර ගෙන තිබේ. කෘෂිකර්මාන්තය වෙනුවෙන් රුපියල් බිලියන 138 ක මුදලක් වෙන්කිරීමද සුවිශේෂී වේ.
මීළඟ පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටු රැස්වීමේදී කෙටුම්පත විවාදයට ලක් කිරීම සඳහා දිනයක් නියම කෙරේ.