පසුගියදා සිදු වූ අයහපත් කාලගුණ තත්ත්වයන්ගේ පීඩාවට පත් ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ක්‍රමවත් කරන ලෙස අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් දරුවන්ට පාසල් උපකරණ හා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකදි (2024.06.11) අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් දරුවන්ට පාසල් උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම හංවැල්ල දේවස්ථානය, පුවක්පිටිය පූර්වාරාමය, අවිස්සාවේල්ල සුභද්‍රරාම පිරිවෙන යන ස්ථානවලදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

කිසිදු කරුණකට දරුවන්ගේ අධ්‍යාපනයට බාධා පැමිණවීමට නොහැකි ලෙස කටයුතු කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් බව මෙහිදී අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, රේඛීය ආයතන ප්‍රාදේශීය පරිපාලන සහභාගීත්වයෙන් පාසැල් සුද්ධ පවිත්‍ර කිරීම් හා අලුත් වැඩියා කටයුතු මේ වන විටත් අරඹා ඇතැයි ද කීය.

ගංවතුරින් පොත් පත්වලට හානි වීම නිසා දරුවන්ගේ සිත් පීඩාවට පත්ව ඇති නිසා ඔවුන්ගේ මනස සුවපත් කිරීමට මෙවැනි ඉදිරිපත් වීම් අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය."

හොංකොං ශාක්‍යමුනි බෞද්ධ පදනම, සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමය, මෙම සත්කාරයට දායක වී ඇත.

ගරුතර මහා සඟරුවන සහ අන්‍යාගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, කොළඹ දිසාපති ප්‍රසන්න ගීගනගේ, ප්‍රාදේශීය හා ග්‍රාමීය සංවර්ධන අග්‍රාමාත්‍ය සම්බන්ධීකාරක කේ. ජී. ව්ජේසිරි, සීතාවක ප්‍රාදේශීය ලේකම්, ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය