නව තාක්ෂණය කරා යොමු වන කාන්තාවට ජාතික නිෂ්පාදන වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ හැකියි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු කාන්තාවන් අගයමින් 2023 .03. 08 දින අරලියගහ මන්දිර පරීශ්‍රයේ සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාව සවිබලගැන්වීමට මුළු ජාතියම සහෝදරත්වයෙන් බලා සිටින අවස්ථාවට එක් වීමට පුළුවන් වීම අතිශයින් අගය කරනවා.

කාන්තාවන් අතිමහත් පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ වගකීම් රාශියක් විවිධ ක්ෂේත්‍ර වල දරනවා. මේ අවස්ථාව එම බහුතරය නියෝජනය කරන සුවිශේෂ අවස්ථාවක්.

අග්‍රාමාත්‍ය කාර්යාලය බොහෝ අවස්ථාවල රටට රටේ ජනතාවට ඒ වාගේම වගේම විවිධ ජනතා කොට්ඨාශවලට අලුතෙන් විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ස්ථානයක්. මේ අවස්ථාවේදී ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන තේමාව ශක්තිමත් කරන්නට අග්‍රාමාත්‍ය කාර්යාලය හැටියට එක් වීම සුවිශේෂයි.

කාන්තාවන් බැංකු ක්ෂේත්‍රයට අන්තර්ගත කිරීම සඳහා වූ ක්‍රියාදාමයට ඩිජිටල් තාක්ෂණය ද එක්කර ගැනීමෙන් මෙම වැඩසටහන තවත් සාර්ථක කරගත හැකියි.

බොහෝවිට ඔබ වගේම මේ අවස්ථාව බලාපොරොත්තු වන කාන්තාවන් දහස් ගණනක් ඉන්නවා. අපේ රටේ විවිධ තැන් වල විහිදී සිටින කාන්තාවන් ජාතික වශයෙන් වැදගත් වූ සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්වෙනවා.

කාන්තාවන් සවිබල ගැන්වීමේ දී විවිධ ක්ෂේත්‍ර වලට ගමන් කිරීම සඳහා වූ දොරටු විවෘත කර ගන්නට තවත් හැකියාවකට එක් වෙමින් තිබෙනවා.

කාන්තාවන් අද ලොව පුරා ම තම අයිතිවාසිකම් කැපවීම් ජාත්‍යන්තර සම්මුති ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ඇතුළු රජය මෙරට කාන්තාවන් වෙනුවෙන් පවතින විවිධ ප්‍රඥප්තීන් තවදුරටත් වැඩි දියුණු කොට අද දින දායාද කළා.

අප මුහුණදෙන මේ අමාරු කාලය ලක් ඉතිහාසයේ මෑත කාලයේ නිදහසෙන් පස්සේ අප මුහුණදුන් අමාරුම කාල පරිච්ඡේදයයි. නමුත් ඒ අභියෝගය ජයගත හැකියි කියන විශ්වාසයේ දී කාන්තා පරපුර සුවිශේෂ වගකීමක් සහ වැඩපිළිවෙළක් දායකවෙමින් ඉටුකරනවා.

මුළු රටම ජාත්‍යන්තරය තුල ජයග්‍රහණය සඳහා අපේ රටේ ගෙවතු වගාවේ සිට ගොවි බිම හරහා ගොවිතැනින් විශ්වාසය පළ කරන අවස්ථාවට අපේ රටේ කාන්තා පරපුර එක්වී තිබෙනවා. මේ අසීරු අවස්ථාවේ රටට අවශ්‍ය විදේශ විනිමය සැපයීමේ ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කරන්නෙත් කාන්තාවයි. වතු කම්කරු, ගෘහ සෙවිකා සහ ඇඟලුම් සේවිකාවන් එහිදී ප්‍රධාන දායකත්වයක් සපයනවා.

තවදුරටත් ඔවුන්ට ජාතික නිෂ්පාදනය හා විවිධ අයිතිවාසිකම් ඇති කිරීමෙන් නව තාක්ෂණය කරා ගමන් ගැනීමෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ හැකියි.

කාලය වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමෙන් අපතේ යන වෙලාව ඉතුරු කර ගැනීමට ඒ වගේම ආර්ථිකයේ එලෙසම අපතේ යන කොටස් අඩුකර ගැනීමට පුළුවන් නව පිටුවක් වෙනුවෙන් අපේ කාන්තාවන් කැපවෙනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ අතිරේක ලේකම් දීපා ලියනගේ මහත්මිය ද සහභාගී විය.