ප්‍රමුඛ ආර්ථික, කෘෂිකාර්මික සහ විද්‍යාත්මක ගැටළුවලට විසඳුම් සෙවීම සඳහා සිසුන්ට නවතම ඩිජිටල් දැනුම් කේන්ද්‍රස්ථානය භාවිත කළ හැකියි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

වර්තමාන තාක්‍ෂණික ලෝකයේ ඩිජිටල් මධ්‍යස්ථානයක් යනු සිසුන්ට නවීන දැනුම සොයා යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සම්පතක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන BMS හි නව ඩිජිටල් මධ්‍යස්ථානය 2023.03.13 දින විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූ අතර අධ්‍යයන ක්‍ෂේත්‍රයේ සියලු දෙනා පොදු ජාලයකට සම්බන්ධ කිරීම සඳහා වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව යමින් BMS ආයතනය ගත් එම පියවර ඉතා කාලෝචිත බව ප්‍රකාශ කළේය.

“ධනවත් සහ දුප්පත් රටවල් අතර ආදායම් පරතරයක් මෙන්ම ඩිජිටල් පරතරයක්ද තිබෙනවා. නමුත් එය එසේ විය යුතු නැහැ. ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මගින් මෙම භේදය තුරන් කිරීමට රජය ඵලදායී ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එය දුෂ්කර මාර්ගයක් නමුත් කළ නොහැක්කක් නොවේ.

මෙම කටයුත්තේදී පෞද්ගලික අංශයද රජය සමඟ අත්වැල් බැඳගනු ඇතැයි අපි අපේක්‍ෂා කරනවා,” අදහස්, තොරතුරු නිර්මාණය කිරීමට සහ ඩිජිටල් විසඳුම් නිර්වචනය කිරීමට, සැලසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙන්ම මෙම විසඳුම් සහ පවතින තොරතුරු පද්ධතිය නිශ්චිත නිර්ණායකයන්ට අනුව ඇගයීමට ඩිජිටල් පද්ධති භාවිතා කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මූලික වශයෙන් ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් මගින් විද්වතුන්ට සහ සිසුන්ට වෘත්තීයවේදීන් ලෙස ඵලදායීව ඔවුන්ගේ සේවය ලබාදීම සඳහා අත්‍යාවශ්‍යවන තාක්ෂණික කුසලතා, සාක්ෂරතා කුසලතා සහ චින්තන ක්‍රම වර්ධනයකිරීමට අවකාශයක් නිර්මාණය කරයි. කාලය සිසුන්ට වැදගත්ම සාධකයක් බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, බොහෝ රටවල පාසල් සහ විශ්වවිද්‍යාල විභාග ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී අනවශ්‍ය ප්‍රමාදයන් සිදු නොවන බව පෙන්වා දුන්නේය. සිසුන්ගේ වටිනා කාලය අපතේ යැවීම වැළැක්වීම සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව අ.පො.ස සහ විශ්වවිද්‍යාල විභාග ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට රජය නීත්‍යානුකූලව බැඳී සිටින බවද ඔහු පැවසීය.

ශිෂ්‍යයින් සඳහා ඉගැන්වීම් සැසි කිහිපයක් පවත්වමින් උදෑසන සිට රාත්‍රිය වනතුරු තම සම්පත් උපයෝගී කරගන්නා පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල සහ ආයතන පිළිබඳව ප්‍රශංසා කළ අග්‍රාමාත්‍යවරයා රජයේ පාසල්වල සම්පත් පස්වරු 2.00 සිට පසුදා උදෑසන 8.00 දක්වා කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අගුලු දමා ඇති බව කනගාටුවෙන් සඳහන් කළේය.

අද, BMS ආයතනය එහි විශිෂ්ට අධ්‍යයන පරිචයට අමතරව, රජය විසින් අනුමත කරන ලද උපාධි පිරිනමන ආයතනයක් බවට පරිණාමය වී තිබෙනවා. කළමනාකරණය, නීතිය, හෙද, ජීව විද්‍යා සහ ජෛව තාක්‍ෂණ ක්ෂේත්‍රයන්හි උපාධි පිරිනැමීමට BMS නුදුරු අනාගතයේදීම කටයුතු කරන් ඇතැයි මමබලාපොරොත්තු වෙනවා, ” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

BMS හි සභාපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා මෙහිදී අදහස් පළ කරමින්, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව සිසුන්ට අධි තාක්‍ෂණික ඉගෙනුම් පහසුකම් සැලසීම සඳහා නව BMS ඩිජිටල් මධ්‍යස්ථානයක් විවෘත කළ බව පැවසුවේය.

BMS විශ්ව විද්‍යාලය විසින් එක්සත් රාජධානියේ Northumbria විශ්ව විද්‍යාලය සහ තවත් ඉහළම විදෙස් විශ්ව විද්‍යාල කිහිපයක් සමඟ ඇති කර ගෙන ඇති හවුල්කාරිත්වය තුළින් ශ්‍රී ලංකාවේ මෙන්ම අසල්වැසි රටවල සිසුන්ට විශ්ව විද්‍යාල උපාධි අධ්‍යයන ප්‍රවේශය ලබා ගත හැකිය.

මෙම අවස්ථාවට BMS විශ්ව විද්‍යාලයේ හිටපු සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා, BMS අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ආචාර්ය ගාමිණී සමරනායක සහ ආචාර්ය ශ්‍රියානි පීරිස්, ආචාර්ය මණ්ඩලය සහ සිසුන් එක්ව සිටියහ.