මනුෂ්‍යත්වයේ දිනයක කාලීන අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ දින දර්ශනයට අනුව මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියි.

කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 2022.12.12 දින පැවති විශ්ව සංහිඳියාව සඳහා සාමය පතුරවන්නන්ගේ ජාත්‍යන්තර සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස ඉල්ලා සිටියේය.

මානව සාරධර්ම සීඝ්‍රයෙන් පිරිහීම මානව සංහතියට ඉතා භයානක තර්ජනයක් බැවින් තම යෝජනාව පිළිබඳ සළකා බලා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

“මිනිසා ජීවිතයේ සෑම ක්‍රියාකාරකමක්ම පාහේ සිදු කරනු ලබන්නේ සාමය සහ සහජීවනය ලබා ගැනීම වෙනුවෙන් වන අතර එම ආශාව අපට ඇතිවන්නේ අපගේ පැරණි ශිෂ්ටාචාරය තුළිනි. හින්දු වේදයන්, පෙරදිග ආධ්‍යාත්මික නායකයින් සහ බෞද්ධයාගේ ගුරුවරයා වන ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම පුත් ගෞතම බුදුන් වහන්සේ අපට ඉගැන්වූයේ මනුෂ්‍යත්වයේ ගුණාංගවලින් ඈත් වුවහොත් එහි ප්‍රතිඵලය අප්‍රමාණ දුක් සහිත වන බවයි. දුක දුරු කිරීම සඳහා වූ මාර්ගය සියලුම ආධ්‍යාත්මික නායකයින් විසින් අපට පෙන්වා දෙනු ලැබීය.

මනුෂ්‍යත්ව දිනයක් ප්‍රකාශ කිරීම ගෝලීය ප්‍රජාවට, විශේෂයෙන් ලෝක නායකයින්ට මානව වටිනාකම් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනු ඇතැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා, සාමය ඇති කිරීම මෙන්ම සහජීවනය පිළිබඳ වැදගත් ප්‍රශ්න සාකච්ඡා කර අදහස් සහ යෝජනා විමසමින් මෙම සංකල්පය ලෝකය පුරා බෙදා හැරීමට හැකි ක්‍රම සහ විධි ඉදිරිපත් කරන ලෙස නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

මහර්ෂි අරවින්ද් පදනම සහ එත්නික් විද්‍යා පදනම එක්ව පවත්වනු ලබන විශ්ව සංහිඳියාව සඳහා සාමය පතුරවන්නන්ගේ ජාත්‍යන්තර සමුළුව දෙසැම්බර් 12 වෙනිදා සිට 16 වෙනිදා දක්වා කොළඹදී පැවැත්විමට කටයුතු යොදා ඇත.

මිනිසුන් ප්‍රචණ්ඩත්වය සහ ගැටුම්වල විෂම චක්‍රයකට හසුවන්නේ නොදැනුවත්කම නැතහොත් මනුෂ්‍යත්වය සහ මානුෂීය වටිනාකම් පිළිබඳ නොසැලකිල්ල නිසා බවත් ගැටුම්වලින් පිරුණු ලෝකයට මෙම සත්‍යය වඩාත් ප්‍රබල ලෙස පහදා දිමට කාලය පැමිණ ඇති බවත් අග්‍රාමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, බස්නාහිර පලාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, සමුළුවේ සම්බන්ධීකාරක ජනාධිපති නීතිඥ සරත් කෝන්ගහගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.