සෝභිත හිමියන් ජාතික ව්‍යාපාරයේ ප්‍රතිමූර්තියක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

කෝට්ටේ නාග විහාරය සංවිධානය කළ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි 82 වන ජන්ම දින සැමරුම් උත්සවය හා ඊට සමගාමීව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ මගපෙන්වීමෙන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහයෝගයෙන්, නාග විහාර තරුණ සංවිධානය, ක්‍රියාත්මක කළ දහම් පාසල් අතර පැවැත්වූ නිර්මාණාත්මක වෙසක් සුබ පැතුම් පත් තරගයේ සහතික පත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් 2024.05.30 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ අපේ ජාතිය අවදි කළ මහා සංඝ පීතෘවරයන් වහන්සේ නමක් ලෙස අපි කවුරුත් ගෞරවයෙන් සිහිපත් කරනවා. සෝභිත හිමියන් ජාතික ව්‍යාපාරයේ ප්‍රතිමූර්තියක්. රට වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අපේ භාෂාව හා සංස්කෘතිය වෙනුවෙන් ඉදිරිපත් වූ මහා සඟරුවනේ ආදර්ශමත් ගමන් මඟ යළි සිහිපත් කරනවා. අපේ රටේ ජනතාවට වගේම ජාත්‍යන්තරයටත් උන්වහන්සේගේ දම් දෙසුම එක්වුණා.

උන්වහන්සේ සිදුකළ සේවාවේ සීමාවක් තිබුණෙ නැහැ. වර්තමානයටත්, අනාගතයටත් යළි යළිත් සිහිපත් කළ හැකි කර්තව්‍යක් දායක කිරීම නිසා රටවැසියා එලෙස ගෞරවය පුද කරනවා. ගම් දහස් ගණනකට වැඩියා. ඒ කාලෙත් අපේ රටේ විදුලි පරිවර්තනයට සූර්යතාපය එක්කර ගන්න කටයුතු කළා. තරුණයින්, ඉංජිනේරුවන්, කලාකරුවන්, සාහිත්‍යදරයන්, මහාචාර්යවරුන් කීදෙනෙක් උන්වහන්සේ සමඟ එක්ව කටයුතු කළාද. රටට අතිශය වැදගත් අභියෝග වලදී සෑම විටම මැදිහත් වුණා. රට පුරා වැඩියා විතරක් නෙවෙයි, ඒ කාලෙත් ගමන් නොකරපු ප්‍රදේශ හරහා ගමන් කළා. අපේ රට මුහුණ දුන්න තර්ජනාත්මක රට බෙදීමේ ව්‍යාපාරවලදී නොසැලී ඉදිරිපත් වුණා. නාග විහාරය සමග සිටි තරුණයන් ඒ මාර්ගයේ ඉදිරියට ගියා. එදා රට අතහැර ගියා නම් මේ ඉතිහාස සිතියම හුඟක් වෙනස් වෙනවා.

උන්වහන්සේ ථේරවාදී බුදු දහම මෙරට කේන්ද්‍රස්ථානය කරගෙන අපේ අසල්වැසි රටවල් සමග කටයුතු කරන්නට කැපවී කටයුතු කළා. අදත් ආසියාතික රටවල, විවිධ විශ්වවිද්‍යාලවල පර්යේෂකයින්, ආචාර්ය මහාචාර්යවරුන් ඒ දේශයන් වලින් පැමිණ ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය හැටියට පර්යේෂණ සඳහා අපේ රටට එනවා. එලෙස පවත්වාගෙන යාමට හැකි බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවය ලොවට දායාද කරන්නට එක්වීමේ ඕනෑකම වෙනුවෙන් සෑමවිටම කටයුතු කළා. ඒ මඟින් බුදු දහමේ පැවැත්ම ලෝකයාට ගැඹුරෙන් ලබාදීමටත් ථේරවාදී රටවල්වල් අතර මිත්‍රත්වය තහවුරු කිරීමට සහ ශක්තිමත් කිරීමටත් කටයුතු කළා. උන්වහන්සේ අපේ ජාතික, ආගමික අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට පරාර්ථකාමීව මෙහෙය වූ ලබා දුන් ආදර්ශය මුළු මහත් සංඝ පරම්පරාවටත් සමාජයටත් ඉතා වැදගත්.

එහිදි අනුශාසනා කළ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි -

සෝභිත හාමුදුරුවන් වහන්සේ මේ ජන සමාජය වෙනස් කරන්නට මොන තරම් කැප වුණාද. උන්වහන්සේ ජාතික සම්පතක්. ජනතාව අවදි කළ සිංහයෙක්. උන්වහන්සේට අවශ්‍ය වුණේ සාධාරණ අනාගතයක් ගොඩනගන්නටයි. උන්වහන්සේ ඒ වෙනුවෙන් කැප වුණා.

අග්‍රාමාත්‍යවරයා එදා රට වෙනුවෙන් අපිත් එක්ක හිටියා. එදා ජගත් කම්කරු දිනය අහෝසි කළා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා අද අගමැතිතුමා අපි මැයි දිනය සමරමුද කියලා මගෙන් ඇහුවා. සෝභිත හාමුදුරුවෝ අපි සමග එකතු වුණා. එදා අභියෝග මධ්‍යයේ මැයි දිනය සැමරුවා. අපි අග්‍රාමාත්‍යවරයාට කියන්නේ බොරලුගොඩ සිංහයා කියන නම අමතක කරන්න එපා. ඒක අමතක කරන්න දෙන්නත් එපා.

සෝභිත හිමියන් ගිය මඟ අපිත් යන්නට ඕනෑ. සෝභිත හිමියන්ට අපි කරන සැලකිල්ල නම්, ගෞරවය නම් අපි ඔක්කොම එකතුවෙලා උන්වහන්සේගේ මඟ හදන්න ඕනේ.

එහිදි අනුශාසනා කළ නාග විහාරාධිකාරී පූජ්‍ය කොටහේනේ නාරද හිමි -

මාදුළුවාවේ සෝභිත හිමියන් තරුණ අවධියේ සිටම මේ රට දැය සමය වෙනුවෙන් ඉටු කළ සේවාව අපමණයි. උන්වහන්සේ මේ රටට යම් උවදුරක්, විපත්තියක් පැමිණුනානම් ඊට විරුද්ධව නැඟී සිටිය ආකාරය පිළිබඳව ජීවමානව තිබෙන සාක්ෂි දෙකම මේ ස්ථානයේ සිටිනවා. එයින් එක් අයෙක් තමයි ගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවෝ. අනිත් කෙනා අපේ රටේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.

දැන් තියෙන අරගලවල වගේ බුරියානි පාර්සල්, හෝටල් වලින් බුෆේ, ගිණුම් වලට ලක්ෂ ගණන් ඒ දවස්වල අරගල වලට ආවේ නැහැ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අරගෙන එන එක බත් පාර්සලයක් දෙකක් කාලා එදා ධවල භීෂණයේ අරගල වලට මුහුණ දුන්නා කියලයි සෝභිත හිමියන් අපිට කිව්වේ. ඒ වගේම මාස ගණන් හතරවෙනි තට්ටුවේ මුරුත්තෙට්ටුවේ නායක හාමුදුරුවෝ හිර කරගෙන හිටියා. ලොකු හාමුදුරුවන්ව හිර කරන්න හොයන කොට දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එක්ක එක එක තැන්වල හැංගිලා ඒවායින් බේරිච්ච කාලය පිළිබඳව අද සමාජයේ දන්නේ නැහැ. ඒ වගේ මෙහෙවරක් කරපු නිසා එදා මේ රටට සිදුවුණ හානිය වළක්වා ගන්නට හැකියාව ලැබුණා. අද තරුණ තරුණියෝ මේ රටට වුණ උවදුරු, අභියෝග, බාධා මොනවද කියලා දන්නේ නැහැ. ඒ අය මාදුළුවාවේ සෝභිත හිමි කියන්නේ කවුද, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියන්නේ කවුද, කියලා හඳුනගෙන නැහැ. ඒ දරුවන්ගේ වැරැද්දක් නෙවෙයි. ඉතිහාසය පිළිබඳ නොදන්නාකමයි.

අනාගත පරම්පරාව අපේ සංස්කෘතිකමය උරුමයන්, අපේ සභ්‍යත්වය. අපේ ශිෂ්ඨාචාරය පිළිබඳව අවබෝධයක් ඇති දරු පිරිසක් සමඟ මේ රට ඉදිරියට යනවා දකින්නටයි අවශ්‍ය. ඒ සඳහා අවැසි සාධකයන් සම්පාදනය කිරීම මහා සංඝරත්නය හැටියට අපගේ කාර්යභාරය වගකීම බවට පත්වෙනවා. ඒ සඳහා පන්සල අනිවාර්යයෙන් කේන්ද්‍රස්ථානය විය යුතුයි. ඒ වගේම දේශපාලන අධිකාරිය ඒ සඳහා අවැසි නීති කෙටුම්පත් සම්පාදනය කළ යුතුයි. මහා සංඝරත්නයට, සම්බුද්ධ ශාසනයට, ධර්මයට විශාල අගතිකාරි ක්‍රියාදාමයන් අද සිදුවෙනවා. මේවාට විරුද්ධව අවශ්‍ය කරන නීති ඉක්මනින්ම ගෙන ඒමේ වැදගත්කම අවධාරණය කරනවා. වත්මන් රජය තුළම ඒ සඳහා අවැසි කරන නීති සම්පාදනයන් ගෙනල්ලා ඉක්මනින්ම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම මේ රජයෙන් ඉටු කළ යුතුයි.

කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, පුෂ්පාරාමාධිපති පූජ්‍ය ඇල්කඩුවේ නාගිත හිමි ඇතුළු මහා සඟරුවන, නාග විහාර තරුණ සංවිධානයේ අනුශාසක පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොළඹ දිසාපති කේ. ජී. විජේසිරි, විද්වතුන්, දහම් පාසල් ගුරු දෙගුරුන් දරුවන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය