අලුත් උත්සාහයක යෙදිය හැකි ව්‍යවසායකයින් බිහි කරන නවමු සංකල්පයක්... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ග්‍රාමීය ආර්ථිකය නංවාලීම රජයේ මූළික අරමුණක්...

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ වැඩසටහනේ තවත් පියවරක් (2024.05.28) කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

චීන රජයේ ආධාර යටතේ ලබාදෙන මෙම එක් යන්ත්‍රයක් මගින් පවුල් කිහිපයකට සෘජු ආදායම් මාර්ග විවෘත වන අතර එකී පවුල් ආශ්‍රීත ගම්මාන වල පවුල් රැසකට මෙමගින් වක්‍ර ප්‍රතිලාභ හිමිවේ. ආදායම් උපයන මාර්ග වැඩිදියුණු කිරීම, පවුල්වල පෝෂණය වැඩි දියුණු කිරීම, රටේ පොදු බිත්තර නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, ගෘහ මට්ටමින් ස්වයංපෝෂිත ගෙවත්තක් නිර්මාණය කිරීම මෙම වැඩසටහන මගින් අපේක්ෂිත අරමුණ වේ.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

අතීතයේ අපේ රටේ ගෙයින් ගෙට ජනප්‍රියම පෝෂ්‍යදායී ආදායම් මාර්ගයක්ව පැවැති, අද අපි යළිත් ගම් මට්ටමින් ආදායම් මාර්ගයක් බවට පත්කිරීමට උත්සාහ කරන කුකුළු පැටව් හා බිත්තර ව්‍යාපාරයේ වගකීම මේ ප්‍රදේශයට භාර කිරීමයි අද සිද්ධ වෙන්නේ. හොඳ අත්දැකීම් සම්භාරයක් තිබෙන කෙනෙක් ඒ අත්දැකීම් සම්භාරය මත තෝරාගෙන කුකුළු පැටවුන් ඇති කිරීමේ ව්‍යාපාරයට දායක කර ගැනීමයි මෙහිදී සිද්ධ වෙන්නේ. මෙතනදී ලබාදෙන පුහුණුවෙන් පසුව ඒ ව්‍යාපාරයට උදව් දෙන යන්ත්‍රයක් ඔබට බාර දෙනවා.

මේ හරහා කුකුළු පැටවුන් ඇති කිරීමේ ව්‍යාපාරය ජනතා ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්නට ඔබට හැකියි. නිවසට කිසියම් ආදායම් මාර්ගයක් ඇතිකර ගැනීමට හැකිවෙනවා වගේම ගෙදර දරුවෙකුට පෝෂ්‍යදායී බිත්තරයක් ලබා ගැනීමේ හැකියාව හෝ මෙයින් ලැබෙනවා. මහජන චීනය මේ පරිත්‍යාගය කළේ මෙරට අසීරුතා මධ්‍යයේ ජීවත්වන ජනතාවට සහනයක් ඇති කළ හැකි යැයි විශ්වාසයෙන්.

අලුත් උත්සාහයක යෙදිය හැකි ව්‍යවසායකයින් බිහි කරන නවමු සංකල්පයකට මෙමගින් ලබා දෙන ධෛර්යය විශාල ශක්තියක්. ස්වයං රැකියාවක යෙදීමට අප ලැබූ දැනුම තරුණ පරපුරට ලබාදීමට හැකි වෙනවා.

කොළොන්නාව සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා

අග්‍රාමාත්‍යතුමාගේ චීන සංචාරය ඵලදායි, රටට වැඩදායි සංචාරයක්. ඒ සංචාරය අතරතුරත් අග්‍රාමාත්‍යවරයා අඩු ආදායම්ලාභී ජනතාව අමතක කළේ නැහැ. ඒ අනුවයි ව්‍යවසායකයින්ට අත්වැලක් විය හැකි, බිත්තර රැක්කවීමේ යන්ත්‍ර මෙරටට ලැබුණේ.

ගෙදර හදාගත්ත පොඩි පෙට්ටියක කුකුළු පැටවුන් ඇති කරපු පුද්ගලයෙක් අද මේ යන්ත්‍රය භාර ගත්තා වගේම ඉදිරියේදී ප්‍රදේශයේ ගෘහ ආශ්‍රිතව කුකුළු පැටවුන් ඇති කළ හැකි නිවෙස්වලට කකුළු පැටවුන් ලබා දීමත් සිදුකරනවා.

රටක් ඉදිරියට යන්න නම් රටේ ජනතාව අධිෂ්ඨානශීලී විය යුතුයි. හැමෝටම රජයේ රැකියා කරන්න බැහැ. තමාට තමා කෙරෙහි ඇති විශ්වාසය තමයි අවශ්‍යය. තමන්ගෙ ව්‍යාපාරයෙන් ආදායමක් ලැබිය හැකියි කියන විශ්වාසය තමා තුළ ඇති කරගන්න. ජාත්‍යන්තරයට ගිහිල්ලා රටට, ගමට ගෙනා මේ සත්කාරයට අගමැතිතුමාට ස්තූතියි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය