ආණ්ඩුව විසින් මාධ්‍ය පාලනය කළ යුතු යැයි මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මාධ්‍ය විසින් ජනමාධ්‍ය සදාචාරය සහතික කළ යුතුයි - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුමාර් නඩේසන් මහතාට ප්‍රවාසි භාරතීය සම්මානය පිරිනැමීම වෙනුවෙන් 2023.03.15 දින කොළඹ දී පැවැති උපහාර පිදීමේ උත්සවය අමතමිනි. විදේශයන්හි වසන ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයින්ට යම් ක්‍ෂේත්‍රයක දක්වන ප්‍රවීනත්වය වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ලබා දෙන උසස්ම සම්මානය ප්‍රවාසි භාරතීය සම්මානය වන අතර ඉන්දියාව ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සහ ජනතාව අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය සහ අවබෝධය වර්ධනය කිරීම මෙන්ම කුමාර් නඩේසන් මහතා පුවත්පත් ක්ෂේත්‍රයේ දැක්වූ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් මෙම සම්මානය ඔහුට පිරිනැමිණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

ආණ්ඩුව විසින් මාධ්‍ය පාලනය කළ යුතු යැයි මම විශ්වාස කරන්නේ නැහැ. මාධ්‍ය විසින් එහි සදාචාරාත්මක ප්‍රමිතීන් සහතික කළ යුතුයි. ප්‍රවාසි භාරතීය සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකේය පුත්‍රයෙකුට අප උපහාර දක්වන මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. එය කුමාර් නඩේසන් වෙත පිරිනමනු ලැබුවේ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතින් වීම ඉතාම සුවිශේෂීයි.

මෙම සම්මානයට අදාළ සේවා ලැයිස්තුව කියවන විට, මෙම වසරේ එම සම්මානය කුමාර නඩේසන් මහතාට හිමිවිය යුතුම එකක් බව මට හැඟී ගියා. මොකද එහි ගුණාංග බොහෝමයක් ඔහු සතුව තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමයේ සභාපතිව සිටියදී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ ව්‍යාපාරයේ සිදු කළ නිහඬ සේවය අතිමහත්. කුමාර් නඩේසන් මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපතිවරයා ලෙස විශිෂ්ට සේවයක් කරමින් සිටින අතර ශ්‍රී ලංකා පුවත්පත් සංගමයද නියෝජනය කරනවා. ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සභාපතිවරයෙකු ලෙසද කටයුතුකරමින් ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට කළ සේවය ඉතා ප්‍රශංසනීයයි.

නඩේසන් මහතා දැන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෙමළ දිනපතා පුවත්පතක් වන වීරකේසරි පුවත්පතේ ප්‍රධානියායි. 1930 අගෝස්තු 6 වන දින ආරම්භ කරන ලද එය ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වැඩියෙන්ම අළෙවි වන දෙමළ පුවත්පතයි. වීරකේසරි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය ආයතනයක් වන සීමාසහිත එක්ස්ප්‍රස් පුවත්පත් සමාගමට අයත් පුවත්පතක්.

අද සමාජ මාධ්‍ය හා එහි සදාචාරය සහ වෘත්තීයභාවය නොමැතිකම ගැන බොහෝ කතා බහට ලක්ව තිබෙනවා. රජය විසින් මාධ්‍ය පාලනය කළ යුතු යැයි මම විශ්වාස නොකරන නමුත් මාධ්‍ය විසින් එහි සදාචාරාත්මක ප්‍රමිතීන් සහතික කළ යුතුයි. ඊයේ කොළඹදී ව්‍යාජ ප්‍රවෘත්ති, අසත්‍ය තොරතුරු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කලාපීය සම්මන්ත්‍රණයට සහභාගී වූ දකුණු ආසියානු මාධ්‍යවේදීන් පිරිසක් මට හමුවුණා.

ව්‍යාජ ප්‍රවෘත්ති සහ අසත්‍ය තොරතුරු සමාජය තුළ විනාශයක් ඇති කරන බවට මෙම මාධ්‍ය ප්‍රවීණයන් ඒකමතිකව අදහස් පළ කළා. අසත්‍ය ප්‍රචාර හඳුනා ගන්නේ කෙසේදැයි ජනතාව දැනුවත් කිරීම මාධ්‍යයේ වගකීමක් බව ඔවුහු පැවසුවා. මිනිසුන් නිරන්තර කුතුහලයෙන් සිටිය යුතු අතර කියවන සහ අසන දේ ක්‍රියාශීලීව විමර්ශනය කළ යුතුයි.

සමාජ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අන් අය සමඟ බෙදා ගැනීමට පෙර ප්‍රවෘත්ති පිළිබඳ තහවුරු කිරීමට ද ඔවුන් සැලකිලිමත් වෙන්න ඕනේ. ජනතාවට තොරතුරු සපයන අතරම අසත්‍ය පුවත් හඳුනාගෙන ඒවා ප්‍රතික්ෂේප කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වගකීම මාධ්‍ය වෙත පැවරෙනවා.

ප්‍රවාසි භාරතීය සම්මානයේ අගය එහි මුල් ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව කියවූ විට අවබෝධ වෙනවා. දිවංගත මොරිෂස් අගමැති අනිරූද් ජග්නාත්, හිටපු සිංගප්පූරු ජනාධිපති එස්. ආර්. නාදන් සහ හිටපු පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ශ්‍රීදාත් රාම්පාල් යන අය මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. මෙම අගෝස්තු මස පැවැත්වෙන සංසදයේදී, ඉන්දීය - ශ්‍රී ලංකා සංගමය අපගේ දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා විශිෂ්ට සේවාවක් සිදුකරනවා. අප දෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ වැඩිහිටි ඡන්ද බලය සඳහා සම්පුර්ණයෙන්ම කැපවී සිටින ජාතීන් දෙකක්. ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වන අතර ශ්‍රී ලංකාව සර්ව ජන ඡන්ද බලය පිළිබඳ අවුරුදු 90 ක සාඩම්බර වාර්තාවක් ඇති රටක්.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.