ඇමැතිවරු තීන්දු තීරණ ගැනීමේදී සමිති සමඟ සාකච්ඡා කළ යුතුයි... - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් 2023.03.14 දින අරලියගහ මන්දිරයේ පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“අපේ ආයතනික උරුමයන් කෑල්ල කෑල්ල වෙනස් වෙනවා නම්, කෑල්ල කෑල්ල හැලිලා යනවා නම් ඒ වේදනාව දැනෙන්නේ ආයතනයේ කටයුතු කරන සහ වෘත්තිය සමිති ව්‍යාපාරයේ සිටින ඔබට අපට.

විෂය භාර අමාත්‍යවරු ඒ ඒ ආයතනයන් හී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතුයි. සමහර ආයතන වෘත්තිය සමිති සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව තීරණ ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාමාර්ග ගැනීම සේවකයින් කළකිරීමටත්, අපහසුතාවයට පත් කිරීමක් පමණක් නොවෙයි. ආයතනයේ පැවැත්මට හානිකර ක්‍රියාවක්. එසේ සාකච්ඡා නොකර තීන්දු, තීරණ ගැනීම ආයතන තුළ කාර්මික සුහදතාවයට බාධාවක්.

ආර්ථික අර්බුදය, ණය ලබාගැනීම හමුවේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. ජනතාවට බර පැටවෙන රාජ්‍ය ආයතන පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ආයතන සහ සේවකයින් සුරකිමින් ඉදිරියට යන්නට අප කටයුතු කරනවා. පළමුව අපි මේ කපොල්ල පනිමු.”

මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයින් අදාළ ආයතනයන්හි ගැටලු අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ අතර, එම ගැටළු සම්බන්ධයෙන් ඒ ඒ අමාත්‍යාංශ ආයතන වශයෙන් අමාත්‍යවරු හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඉක්මනින් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, පොදුජන ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය ශාඛාව, ජාතික ජලාපවාහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, එල්.ආර්.ඩී.සී සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව නියෝජනය කරමින් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, පොදුජන රාජ්‍ය සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සංගමය, පොදුජන වතු සේවක සංගමය, පොදුජන ගුරු සංගමය, පොදුජන පළාත් පාලන සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය, උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වූහ.