මහජන සුබ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය නිලධාරීන් පසුබට නොවිය යුතුයි." -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

ජාතික ආහාර සුරක්ෂිතතා ගාල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම ගාල්ලේ දී 2022.12.16 දින පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"මහජන සුබ සිද්ධිය වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගැනීමට රාජ්‍ය නිලධාරීන් පසුබට නොවිය යුතුයි.
අප ජීවත් වෙන්නේ අපේ රට මෑත කාලයේ මුහුණ නුදුන්න වෙනස්ම අර්බුදයකයි. මෙතන ඉන්න වැඩිහිටියෝ දෙමව්පියෝ දෙවන ලෝක යුද්ධ කාලේ ගැන අහලා තියෙනවා. ඒ කාලේ තිබුණ අමාරුකම් හරහා අපි හිස එසෙව්වා. ඊටත් වඩා අමාරු කාල පරිච්ඡේදයකට අපේ රට පසුගිය කාලයේ ගොදුරු වුණ නිසා එයින් ගොඩ ඒමේ දැවැන්ත වගකීමක් ඔබට අපට සියලු දෙනාට අත්වැල් බැඳගෙන ඉටු කළ යුතු වෙනවා.

ආහාර සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රධානත්වයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බර තබා තිබෙන්නේ එම කරුණු මුල්කර ගෙනයි. අපට විදේශ විනිමය ආර්ථික කළමනාකරණ අර්බුදයන් තුළ දරුණු ප්‍රශ්නයක් බවට පත් වුණා. ඒ වගේම ණයගැති භාවයේ ගැටලු විසඳා ගැනීමේ අර්බුදයට අප මුහුණ දෙමින් සිටිනවා. ජාත්‍යන්තරව අපේ රටට බලපාන කරුණු නිසා අපනයනය වගේම මහජන අවශ්‍යතාවයන් පවත්වාගෙන යාමේ දරනු ප්‍රශ්නයකට අප මුහුණ දීලා තිබෙනවා.
අපේ රට අහරින් ස්වයංපෝෂිත විය හැකි රටක්. විශේෂයෙන් සහල් හා අත්‍යවශ්‍ය ආහාර වලින් ස්වයංපෝෂිත වීමට අපට හැකියාව ලැබුනොත් විදේශ කරා යන ප්‍රධාන ධනස්කන්ධය රටේ ජනතාවටත් සංවර්ධනය සඳහාත් යොමු කරන්න පුළුවන් කම ලැබෙනවා. ඒ නිසා මෙම ආහාර සුරක්ෂිත කිරීමේ වැඩසටහන ගමේ ඉඳල ග්‍රාමසේවක කොට්ඨාශ දහහතර දහස් දෙසීය තුල අනිවාර්‍යයෙන් දියත් කළ යුතුයි.

දේශපාලන නායකත්වය දරන නියෝජිතයින් එකතුවෙලා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒ වගේම මහජන ආයතන එකාබද්ධ කරගත්ත වැඩසටහනක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගයක් අපට තිබෙනවා. පසුගිය කාලය පොහොර පිළිබඳ ගැටලුව නිසා අපේ ගොවි ජනතාව අතර පසුබෑමක් තිබුණා. අපට විශ්වාසයක් තිබෙන නිසා වගේම අපට ආධාර දෙන රටවල් අපේ ගොවි ජනතාව කෙරෙහි විශ්වාසයක් තිබෙන නිසා අපට පුළුවන්කම තිබෙනවා මේ ණය ප්‍රශ්නය තුළම එයට මැදිහත් වෙන්න. එම විශ්වාසය ප්‍රතිඵලයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි.
අඩුපාඩුකම් රාශියක් ඇති. සංඛ්‍යා ලේඛන පිළිබඳ විවිධ වාද විවාද තිබෙනවා. නමුත් මූලික සංඛ්‍යා ලේඛණ සකස් කර ගැනීමේ හැකියාව මේ රාජ්‍ය නිලධාරීන් හැමෝටම තිබෙනවා. යොවුන් පරම්පරාවට කාන්තාවන්ට අලුත් ප්‍රවේශයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇති කළ යුතුයි.

ගොවිජන සේවා පනත කියවා බැලුවොත් ඔබ සැමට වගා කිරීමේ අයිතිය එම පනතින් ලබාදීලා දීලා තියෙනවා. ඒ නිසා කවුරුත් නියෝගයක් ලබා දිය යුතු නැහැ. ගමේ ඉදිරිපත් වෙන අයට වගාවට ඉඩම් ලබා දීමට පුළුවන් බව වගන්තියෙ තියෙනවා. හැම ක්ෂේත්‍රයකටම අණ පනත් වල තිබෙන බලතල ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ආවරණය ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දන්නවා.ඊට කිසිවකු මැලිකමක් දක්වන එකක් නැහැ. ගත යුතු තීරණය අවශ්‍ය වෙලාවට ගන්න. බාධා කරගන්න එපා.
ගමින් ගමට ඇති කළ හැකි කුඩා විවිධ කර්මාන්ත ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඇති කරගෙන තිබෙන කුඩා කර්මාන්තවලට අත දෙන ක්‍රියාදාමය ඒකාබද්ධ කරගෙන ඉදිරියට යන්න අප එකතු විය යුතුයි. වෙන වෙනම දෙපාර්තමේන්තුව හැටියට යන්න බලාගෙන හිටියොත් අපේ සම්පත් සහ කාලය විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා පහළම සැලැස්ම ගමෙන් හදන්න කියලා ජනාධිපතිතුමා සහ රජය තීරණය කරලා තියෙනවා.

ජාතික සැලැස්මක් මත රට ඉදිරියට ගෙන යාමේ ඉලක්කය තුළින් අලුත් පරම්පරාවට මේ රට බාර දෙන්න පුළුවන් අලුත් අවස්ථාවන් තරුණයෝ ඉල්ලනවා."

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ,
අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මනුෂ නානයක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ගීතා කුමාරසිංහ, මොහාන් පී ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරාල, ඉසුරු දොඩංගොඩ, යදාමිණි ගුණවර්ධන ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ , දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියේය.