රජයෙන් වැටුප ගන්න සමහර නිලධාරීන් දුප්පතුන්ට ආධාර දෙන සුබසාධක සමීක්ෂණ කටයුතු මග ඇරියා. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අලුත් ගමක්- අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2023.04.20 දින බදුල්ල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -

″රටක් හැටියට පසුගිය කාල පරිච්ඡේදයේ විවිධ ගැටලු වලට අපි මුහුණ දුන්නා. රාජ්‍ය සේවයේ සියලු දෙනා වගේම ගොවි ජනතාවත් ඊට ලබාදුන් සහයෝගය ඉමහත්. අද රට යළි හිස ඔසවා තිබෙනවා. නමුත් අභියෝග රාශියක් ජය ගැනීමටත් තිබෙනවා.

ඒ සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සුවිශේෂී මැදිහත් කරුවෙක් බවට පත්වෙනවා.

කේන්ද්‍රස්ථානය ලෙස ගෙන එය පළාත් සභාවේ තිබෙන රාජ්‍ය අංශය සමග ඒකාබද්ධව මෙම කටයුතු සාර්ථක කරගැනීමටත් නාස්තිය අඩු කරගෙන ඵලදායිකත්වයට ප්‍රමුඛත්වය ලබාදීමටත් පියවර යුතුයි. ප්‍රාදේශීය සංවර්ධන කමිටු මහජන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. මේ වෙනකොට ලංකාවේ පළාත් පාලන ආයතන සියල්ල විසිරී ගියා. ඡන්දය පවත්වන තුරු ඒ කටයුතු වල ක්‍රියාකාරීත්වය ඒකාබද්ධ විය යුතුයි.

නිලධාරීන් කවුරු වගකීම් දැරුවා දැරුවත් එය ඉෂ්ට කළ යුතුයි. කිසිම නිලධාරියෙකුට එය ඉටු කරන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න බැහැ. කණගාටුයි කියන්න. මෑත දවස් වල සමහර නිලධාරීන් සුබසාධක සමීක්ෂණ කටයුතු මග ඇරියා.

රටේ පළාතේ ගමේ ඉන්න දුප්පත්ම කෙනාට ආධාර දෙන්න තොරතුරු ටික අරන් දෙන්න බැහැ කියනවා. මේ අයත් රජයෙන් වැටුප ගන්නවා. අඩු ආදායම්ලාභීන්ට ලබාදෙන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ශ්‍රී ලංකාවට විශාල ආධාරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම කණගාටුයි. එවැනි තත්ත්වයකින් කටයුතු කරන්න එපා. ගොවි ජනතාවට ගැටලූවක් තිබුණා. පොහොර ටික ගෙනල්ලා දීලා ගොවි ජනතාවට අවශ්‍ය සහන දුන්නා. ගොවි ජනතාව ඒ අභියෝගය බාරගෙන ඔබට අපට සතුටු විය හැකි සහලින් ස්වයංපෝෂිත අවස්ථාවකට රට පැමිණ තිබෙනවා. වී නිෂ්පාදනයෙන් සහ අතිරේක බෝග වගාවෙන් එක දිස්ත්‍රික්කයකට වැඩි අතිරික්තයක් තව දිස්ත්‍රික්කයකට තියෙනවා.

මේ මහපොළොව මහා පෝසත් මහ පොළොවක්. මේක දුප්පත් මහ පොළොවක් නෙවෙයි. විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කය. මේ මහ පොළොවේ ප්‍රාතිහාරයක් වගේ ගොවිතැන් කරන්න පුළුවන්. මේ හැම රාජ්‍ය නිලධාරියෙක්ම එකට උදව්කළ යුතුයි.

වතුකරයේ තිබෙන ගැටළු විශේෂයෙන් මැදිහත් වී විසඳීම සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් අවශ්‍යයි. තරුණ තරුණියන්ගේ අනාගතය ගැන විශ්වාසය ලබා දෙන්න පුළුවන් සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඉතාම අත්‍යවශ්‍යයි.

සියලු දේ රජයෙන් කරන්නට බැරි නම් ඒ මහා සම්පත සක්‍රීය කරන්නට පෞද්ගලික අංශය සහභාගී කර ගත්තට කමක් නැහැ. රජය බොහෝ විට ආධාර දෙනවා. බැංකුවලින් ණය දෙනවා. රජය ඒ ණය බර කරට ගන්නවා. ගොවීන් කරන නිෂ්පාදනයෙන් සියයට 35ක් අපතේ යනවා නම් ඒ පිළිබඳ ගැඹුරින් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන.

මේ රට ඔළුව උස්සන්න පුළුවන් රටක්. මෙවැනි අර්බුදයට පත් වෙනත් රටවල් වලට වඩා ඉක්මනින් ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා ජාත්‍යන්තර සහයෝගය පළ කරා. මේ රටේ පුරවැසියන් හැටියට ඒ පිළිබඳ ආඩම්බර විය යුතුයි. විවිධ අඩුපාඩුකම් පිළිබඳ වාද විවාද විවේචන තියෙන්න පුළුවන්. අපි එකඟවුණු ප්‍රධාන කරුණු සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳගෙන කැපවීමෙන් වැඩ කරමු.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල්, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සුදර්ශන දෙනිපිටිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන තේණුක විදානගමගේ, චාමර සම්පත් දසනායක, අරවින්ද් කුමාර්, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රන්ජිත් අශෝක, බදුල්ල දිස්ත්‍රික් ලේකම්, ජනාධිපති උපදේශක ආචාර්ය බී. එම්. එස්. බටගොඩ, ඌව පළාත් සභා සභාපති ඒ.එම්. බුද්ධදාස ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.