ජනතා සහන ලබාදීම වෙනුවෙන්, පලාත් සභා යටතේ අක්‍රියව පවතින ආයතන වහාම සක්‍රිය කරන්න. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා පළාත් ආණ්ඩුකාරවරු අතර හමුවක් 2022.08.19 දින කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

මෑත ඉතිහාසයේ රට මුහුණ දෙන භයානකම ආර්ථික අර්බුධය හමුවේ ජනාධිපතිතුමා ප්‍රධාන රජය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළට සමස්ථ රාජ්‍ය සේවය, පෞද්ගලික සේවය වගේම ජනතාවගේත් සහයෝගය අවශ්‍ය බව මෙහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඩොලර් අර්බුධය විසදීමට මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ මූලික ගැටළු නිරාකරණය කර ගැනීමට රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාවට යම් සහනයක් හිමි වෙලා තිබෙනවා.

පලාත් සභා වල මුදල් භාවිතයේදි අතිශයින් ප්‍රවේසම්කාරී විය යුතුයි. රාජ්‍ය සේවක වැටුප් සහ අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් වෙන් කිරීමේ සිට සියළු වියදම් වලදී අපි පෙරට වඩා පරිස්සම් සහගත විය යුතුයි.

සියළු අමාත්‍යංශ ඇතුළු රාජ්‍ය සේවාවන් වල රාජ්‍ය වියදම් මේ වනවිට සීමා කර තිබෙනවා. පලාත් සභා වියදම් සීමා කිරීම කෙරෙහිද ආණ්ඩුකාරවරුන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඈත සේවා ස්ථාන වලට සේවය සඳහා යන සේවකයන්ගේ සේවය ලබා ගැනීමේදී වියදම් කළමනාකරණය කරගත හැකි අයුරින් සේවාව ලබා ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා එක්ව ග්‍රාමීය නිෂ්පාදන වැඩි කිරීමට ඒ පිරිස් යොමු කරවීමට උනන්දු කළයුතුයි.

පොහොර ගැටලුවට යම් තරමක සහනයක් ලබා දීමට රජයට හැකි වූණා. එළඹෙන කන්නය සඳහා ක්‍රමවත් හා පිළිගත හැකි ක්‍රමවේදයක් යටතේ තවත් සහන ගොවි ජනතාව වෙනුවෙන් ලබා දීමට රජය ඉදිරියේදී කටයුතු කරනවා. පළාත් සභාවට අයත් අස්වැද්දීම් නොකළ ඉඩම් සහ භාවිතයට නොගත් පලාත් සභා ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින බව අපට වාර්ථා වෙලා තිබෙනවා. එම ඉඩම් වගාවන් සඳහා යොදා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍යතුමන් ආණ්ඩුකාරවරුන් වෙත දන්වා සිටියේය.

ග්‍රාමීය වශයෙන් වසමක් සංවර්ධන ඒකකයක් ලෙස ගෙන සිදු කරන සම්පත් තක්සේරුවක් මගින් නිෂ්පාදන හා සේවා අපනයනය දක්වා වර්ධනය කිරීමේ නව වැඩපිළිවෙළක් රජය ඉදිරියේදී අරම්භ කරන්න තීරණය කළා. පලාත් පාලන ආයතන ද මේ සඳහා සක්‍රීයව දායක විය යුතුයි. මහජන නියෝජිතයන්ගෙන් තොරව දීර්ඝතම කාලයක් පලාත් සභා පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේයි. ඒ නිසා ප්‍රායෝගික සැලැස්මක් ඇතිව වැඩ කිරීමට කඩිනමින් කටයුතු කරන්න අවශ්‍යයි.
බඳවා ගැනීම්, ස්ථිර කිරීම් සිදු කිරීමේදී රජය නිකුත් කළ චක්‍රලේඛ වලට අනුව සිදු කළ යුතු බවත්, යම් යම් පලාත් සභාවල සිදුකර ඇති බඳවා ගැනීම් සහ වේතන ගෙවීම් නිසි ක්‍රමවේදයට පරිබාහිරව සිදු වී ඇති බවට චෝදනා එල්ලවන බවත් එවැනි කාරණා පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රට ස්ථාවර කිරීමේ වැඩපිළිවෙල සඳහා පලාත් සභා වල සහය අත්‍යවශ්‍ය බවත්, කඩිනම් තීරණ ගැනීම් සහ ක්‍රියාත්මක වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය. විදුලි අර්බුධය විසදීම සඳහා පුනර්ජනනීය බලශක්තිය ඇති කිරීම වෙනුවෙන් පලාත් සභා වලට වැඩි දායකත්වයක් ලබා දිය හැකි බවත් එමගින් විදේශ රටවලට ඇදීයන මෙරට ආදායම ඉතිරි කර ගත හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමූපකාර ව්‍යාපාරය මේ වනවිට අක්‍රිය තත්වයකට පත්ව ඇති බවත්, නීත්‍යානුකූලව කටයුතු කිරීමට පෙර සමුපකාර ක්‍රමය වහා ක්‍රියාත්මක කරවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා, අණ්ඩුකාරවරුන්ට අවධාරණය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉදිරියේදී ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, විදේශිය ආයෝජන සහ විදේශ විනිමය වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර පිලිබඳ ආණ්ඩුකාරවරුන්ගේ අවධානය යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

කෘෂිකර්මාන්තය, අපනයන නිෂ්පාදන වර්ධනය කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු පලාත් සභාවල පවතින අවස්ථා පිලිබඳවත්, ඒ ඒ පළාත් වලට බලපාන අනෙකුත් ගැටලු පිළිබඳවත් අණ්ඩුකාරවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත මෙහිදී පැහැදිලි කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ,
දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ඌව පළාත ආණ්ඩුකාර ඒ.ජේ. මුසම්මිල්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ඇතුළු පළාත් ලේකම්වරු සහ නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.