ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා එක්වන්නැයි අග්‍රාමාත්‍යවරයාගෙන් තායිලන්ත ව්‍යවසායකයින්ට ඇරයුම්..

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ නම් බදු සහන ලබාදිය හැකි අතරම නිදහස් වෙළඳ ගිවිසුම් ඔස්සේ බොහෝ වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වියහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව හමුවේ සඳහන් කරයි.

බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති තායිලන්තයේ විශාලතම ව්‍යවසායක සංසදය හමුවේ දී 2023/05/31 දින අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

තායිලන්තය ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකි. ආගමික සංස්කෘතික හා සමාජීය බැඳීම් තුළින් එය ශක්තිමත් වී ඇත. ආයෝජන හිතකාමී රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය ප්‍රමුඛතාව දී තිබේ. සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. මෙම විභවයන් ගෙන් ප්‍රයෝජන ගැනීමට තායිලන්ත ආයෝජන ව්‍යාපාරික ප්‍රජාව සාදරයෙන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසංජිත් විජයතිළක සහ කොළඹ වරාය නගර හා ආර්ථික කොමිසමේ ප්‍රධානී ආර්. වික්‍රමසූරිය යන මහත්වරු ආයෝජකයන්ට ලැබෙන වාසි සහ දිරිගැන්වීම් පිළිබඳව විස්තර කළහ. තායිලන්තයේ මෙරට තානාපති චමින්ද කොලොන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව පැහැදිලි කළේය. කොළඹ වරාය නගරය තායිලන්තයට සහ අනිකුත් රටවලට ලාභදායී ආයෝජන සිදු කිරීමට බොහෝ අවස්ථා ලබා දී ඇති බව ආර්ථික උපදේශක තෙන්නකෝන් රුසිරිපාල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

තායිලන්ත කර්මාන්ත සම්මේලනය, එරට සංචාරක කවුන්සිලය, තායිලන්ත ආයෝජන මණ්ඩලය, තායිලන්ත වාණිජ මණ්ඩලය සහ එරට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරිහු රැසක් සමග අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ, අග්‍රාමාත්‍ය උපදේශක සුගීශ්වර සේනාධීර යන අය මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය